ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී මැයි 16 වන දින ආරම්භ වී පුරා දින 7ක් පැවැත්වුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා නව්‍ය මඟපෙන්වීම් රැසක් ලබා දෙමින් ඊයේ (22) සාර්ථකව නිමාවට පත් විය. “One world for Health” (සෞඛ්‍යය සඳහා එකම ලෝකයක්) යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සමුළුවට රටවල් 194 ක සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මැයි 19 වන දා සමුළුව ඇමතීය.
මෙම සමුළුවේදී ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස, මවගෙන් දරුවාට HIV සහ උපදංශය (Syphilis) සම්ප්‍රේෂණය වීම මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවන මට්ටමට අවම කර එය අඛණ්ඩව පවත්වාගෙන යාම අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීම් සහතික පත්‍රයක් ප්‍රදානය කරනු ලැබීය. සමුළුවට සමගාමීව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය සම්බන්ධීකරණ සමුළුව මෙන්ම ළමා පිළිකා මර්දනය සඳහා වන විශේෂ සැසිවාර ද පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා දූත පිරිස එහිදී මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය, සියදිවි නසාගැනීම් වැළැක්වීම, කෘමිනාශක භාවිතයෙන් සිදුවන සියදිවි නසාගැනීම් අවම කිරීමට ලංකාව ලැබූ සාර්ථකත්වය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කිරීම වැනි සුවිශේෂී අතුරු සම්මුති සැසිවාර රැසකට සක්‍රීයව දායක වූහ.
මීට අමතරව අමාත්‍යවරයා ප්‍රමුඛ ලාංකීය නියෝජිත පිරිස භූතානය, තායිලන්තය, බංග්ලාදේශය යන රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ජපානයේ නිපොන් පදනම ඇතුළු සංවිධාන සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර මෙමඟින් මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අවශ්‍ය සහයෝගීතාවයන් රැසක් හිමි කරගෙන ඇත. මෙම නිල සංචාරය සඳහා අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය එස්. ශ්‍රීධරන් සහ වෛද්‍ය සමිද්ධි සමරකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














