සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ 2026 සහ 2027 වසර සඳහා වන සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ වැඩමුළුවක් අද (23) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම වෙනුවෙන් මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩසටහන් සමාලෝචනය කිරීම සහ 2027 වසර සඳහා වන යෝජනා හඳුනාගැනීමේ රාමුවක් සකස් කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වුණා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අවධාරණය කළේ ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයේ මූලික අරමුණ ප්‍රජාව දිළිඳුබවින් මුදා ගැනීම වන අතර, ඒ සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාවය පවතින බවයි. ඒ වෙනුවෙන් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන මෙන්ම සියලුම සංවර්ධන හවුල්කරුවන් එකම සංවර්ධන වේදිකාවක සිට කටයුතු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම ලෝකයේ දියුණු රටවල් දුප්පත්කම තුරන් කිරීම සඳහා අනුගමනය කර තිබෙන උපායමාර්ගික ක්‍රමවේද අධ්‍යයනය කරමින් සහ පවතින තත්ත්වයන් නිරන්තරයෙන් සමාලෝචනය කරමින් මෙම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවයි ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක යන මහත්වරුන් ඇතුළු එම අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සහ ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.














