ගාල්ල, දංගෙදර ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට අදාළව, ඊට සෘජුවම ආධාර සහ අනුබල දුන් බව කියන ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.
මෙම අපරාධය සහ පොලිස් විමර්ශන පිළිබඳ විස්තර මෙසේය:
පසුගිය මැයි 12 වැනි දින ගාල්ල පොලිස් වසමට අයත් දංගෙදර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තබා ඝාතනය කර තිබුණි. මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරුණු අතර, ඝාතකයින් සහ ඊට සම්බන්ධ සෙසු පිරිස් සෙවීම සඳහා ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් විශේෂ විමර්ශනයක් දියත් කරනු ලැබීය.
අදාළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස, ඝාතනය සැලසුම් කිරීමට සහ ඊට ආධාර අනුබල දීමට සම්බන්ධ වූ මෙම සැකකරු ඊයේ (23) දින පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තල්පේ, හබරාදූව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.
ඝාතනය සඳහා යොදාගත් මෝටර් රථය සහ වෙඩික්කරුවන් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














