මරදාන දුම්රිය ස්ථානයේ සිට හික්කඩුව බලා දිනපතා පස්වරු 6.10 ට ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රියේ එංජිම අද (24) පස්වරුවේ මරදාන දුම්රිය ස්ථානය අසලදී පීලි පැනීමකට ලක්ව තිබේ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ මරදාන දුම්රිය අංගනයේ සිට වේදිකාවේ නවතා තිබූ හික්කඩුව දුම්රියේ මැදිරි වෙත සම්බන්ධ කිරීම සඳහා එංජිම ධාවනය කරවීමේදී, මරදාන පාලම අසලදී මෙම අනතුර සිදු වී ඇති බවයි.
මෙම පීලි පැනීමේදී අදාළ දුම්රිය එංජිමේ රෝද 4ක් පීලිවලින් ඉවතට පැන ඇති බව වාර්තා වේ. දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමට පෙර මෙම අනතුර සිදු වීම නිසා කිසිදු මගියෙකුට අනතුරක් සිදු වී නොමැති වුව ද, මේ හේතුවෙන් මරදාන සහ කොළඹ කොටුව අතර පවතින ප්‍රධාන දුම්රිය මාර්ගවලින් එක් මාර්ගයක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
කාර්යබහුල පස්වරු කාලයක මෙම පීලි පැනීම සිදු වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ මෙන්ම අනෙකුත් මාර්ග කිහිපයක ද දුම්රිය ගමනාගමන කටයුතුවලට යම් බාධා කිරීම් සහ ප්‍රමාද වීම් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විටත් පීලි පැන ඇති එංජිම යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය ඉංජිනේරු අංශවල විශේෂ සහන කණ්ඩායම් එම ස්ථානය වෙත පිටත් කර හැර ඇති අතර, කඩිනමින් මාර්ගය විවෘත කිරීමට පියවර ගනිමින් සිටී.













