මෙවර හජ් වන්දනාවට සහභාගි වන ශ්‍රී ලාංකික බැතිමතුන් සඳහා උපරිම පහසුකම් සැලසීම තහවුරු කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතාගේ ප්‍රධානත්වයෙන් සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා ‘සිලෝන් හවුස් (Ceylon House)’ හිදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.
ශ්‍රී ලංකා හජ් කමිටුවේ සභාපති රියාස් මිහුලාර් මහතා ඇතුළු කමිටු සාමාජිකයින්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ හජ් ඒජන්සිකරුවන් මීට එක්ව සිටියා. හජ් වන්දනාවේ වැදගත්ම අදියර වන මිනා (Mina) සහ අරෆා (Arafat) යන ස්ථානවල ශ්‍රී ලාංකික බැතිමතුන් සඳහා පිහිටුවා ඇති කුඩාරම්වල පවතින සනීපාරක්ෂක පහසුකම් සහ මෙහෙයුම් ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. බැතිමතුන්ට තම ආගමික වතාවත් බාධාවකින් තොරව ඉටු කර ගැනීම සඳහා නවාතැන්, වායුසමීකරණ, පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් උපරිම මට්ටමින් සකස් කිරීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වුණා.














