ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය 2023 (2026) ඊයේ (24) දිනය පුරා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 1,048 කදී ඉතා සාර්ථක අයුරින් පවත්වා අවසන් කළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් ප්‍රකාශ කරයි.
මෙම විභාගය සඳහා රාජ්‍ය සේවයේ දැනට නියුතු උපාධිධාරී අපේක්ෂකයන් 66,991ක් සහ අනෙකුත් බාහිර උපාධිධාරී අපේක්ෂකයන් 96,442ක් ඇතුළුව විශාල පිරිසක් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණි. මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත (Differently abled) අයදුම්කරුවන් 323 දෙනෙකු වෙනුවෙන්ද විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය සියලුම විශේෂ පහසුකම් සැලසීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබීම විශේෂත්වයකි.
මුලින්ම 2023 වර්ෂයේදී රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් පමණක් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා මෙම විභාගය සැලසුම් කර තිබුණද, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් (FR) නඩු 3ක් සහ අභියාචනාධිකරණයේ පැවති එක් නඩු කටයුත්තක් හේතුවෙන් විභාගය තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන්ට සිදුවිය.
කෙසේ වෙතත්, අදාළ සියලුම අධිකරණ නඩු කටයුතු අවසන් වීමෙන් අනතුරුව, දිවයින පුරා පාසල් පද්ධතිය තුළ පවතින උග්‍ර ගුරු හිඟයට කඩිනම් පිළියම් සැපයීමේ අරමුණින් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට මෙන්ම අනෙකුත් සියලුම සුදුසුකම්ලත් උපාධිධාරීන්ටද එකසේ පෙනී සිටිය හැකි පරිදි මෙවර විභාගය පුළුල් මට්ටමින් පවත්වනු ලැබීය.














