බෙනින් රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස රොමුආල්ඩ් වඩග්නි (Romuald Wadagni) මහතා ඉකුත් ඉරිදා (24) කොතොනූ නුවර පිහිටි කොංග්‍රස් මන්දිරයේදී සිය ධුරයේ දිවුරුම් දුන්නේය. රට තුළ පවතින ආරක්ෂක තර්ජනවලට මුහුණ දීම සහ ආර්ථික වර්ධනය ජනතාවගේ එදිනෙදා ජීවිතවලට සෘජුවම බලපාන පරිදි යථාර්ථයක් බවට පත් කිරීම තම ප්‍රමුඛතම වගකීම බව ඔහු සිය සමාරම්භක දේශනයේදී අවධාරණය කළේය.
පසුගිය අප්‍රේල් 12 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රතිවාදී අපේක්ෂක පෝල් හුන්ක්පේ (Paul Hounkpe) මහතා පරදවා 94%කට අධික විශාල ජනවරමක් හිමිකර ගැනීමට වඩග්නි මහතා සමත් විය. 2016 වසරේ සිට බෙනින් රාජ්‍යයට නායකත්වය ලබා දුන් පැට්‍රිස් ටැලොන් (Patrice Talon) මහතා ව්‍යවස්ථාපිත සීමාවන්ට අනුව සිය දෙවන ධුර කාලය අවසන් කරමින් ඉවත්වීමෙන් පසු වඩග්නි මහතා බලයට පත්විය.
49 හැවිරිදි වියේ පසුවන වඩග්නි මහතා මීට පෙර දශකයක් පුරා බෙනින් රාජ්‍යයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අයෙකි. ඔහු හිටපු ජනාධිපතිවරයා විසින් ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ රටේ ව්‍යාපාරික පරිසරය දියුණු කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
“අපේ ආර්ථිකය දියුණු වී ඇති බව සත්‍යයක්. නමුත් ජාතික ආර්ථික වර්ධනයක් අර්ථවත් වන්නේ එය ජනතාවගේ දෛනික ජීවිතයට අත්විඳිය හැකි වන විට පමණයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. රැකියා උත්පාදනය, මූලික පහසුකම් සඳහා ප්‍රවේශය සහ සමාජ ආරක්ෂණය තම පාලන සමයේ ප්‍රමුඛතා වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.














