ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අනතුරට ලක්වූ ධීවරයෙකු කඩිනමින් ගාල්ල වරාය වෙත ගෙනවිත් කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ. කුඩාවැල්ල ධීවර වරායෙන් මැයි 05 වන දින ධීවරයන් හය දෙනෙකු සමඟ පිටත්වූ බහුදින යාත්‍රාවක සිටි මෙම ධීවරයා ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 730ක් පමණ ඈත මුහුදේදී හදිසි අනතුරකට ලක්ව ඇත.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත මේ පිළිබඳ දැනුම්දීමෙන් පසු, එම ප්‍රදේශය ඔස්සේ ගමන් කරමින් තිබූ ‘Dong Fang Wei Ve’ නැමැති වෙළෙඳ නෞකාව මගින් අනතුරට පත් ධීවරයා බේරාගෙන නැවට නංවාගෙන ඇත. අනතුරුව දකුණු නාවික විධානයට අයත් නාවික යාත්‍රාවක් මගින් එම ධීවරයා සිය බාරයට ගෙන මූලික ප්‍රථමාධාර ලබාදෙමින් ගාලු වරාය වෙත රැගෙන විත් කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
















