දුම්වැටි භාවිතයට අමතරව මෙරට සමාජය තුළ නිහඬ විනාශයක් සිදුකරමින් පවතින දුම්රහිත දුම්කොළ සහ පුවක් මිශ්‍රිත නිෂ්පාදන බහුලව සැපීම හේතුවෙන්, ශ්‍රී ලාංකික පිරිමින් අතර මුඛ පිළිකා වැළඳීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ මට්ටමකට පත්ව ඇති බව වෛද්‍ය වාර්තා ඇසුරින් අනාවරණය වෙයි. සාමාන්‍යයෙන් බුලත්විට සමඟ හපන දුම්කොළ, දිවයට තබාගන්නා දුම්කොළ මෙන්ම නාසයෙන් උරන දුම්කොළ (Snuff) ආදී විවිධ ක්‍රම ඔස්සේ ජනතාව මේවාට ඇබ්බැහි වී සිටිති. විශේෂයෙන්ම බුලත්විට, මාවා, පාම්පරා, බාබුල්, හාන්ස් සහ පැණි පුවක් වැනි දේශීය මෙන්ම විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන දුම්කොළ හා පුවක් මිශ්‍රිත නිෂ්පාදන භාවිතය නිසා මුඛ පිළිකා, ගලනාළ පිළිකා මෙන්ම අග්න්‍යාශයේ පිළිකා ඇතිවීමේ බරපතල අවදානමක් පවතී. වෛද්‍ය පර්යේෂණවලට අනුව දුම්රහිත දුම්කොළ සැපීමේදී පිළිකා ජනක රසායනික සංයෝග 28 ක් පමණ ශරීරයට නිදහස් වන අතර, පුවක්වල අඩංගු පිළිකා ජනක සංයෝග 4 ද ඊට අත්වැලක් සපයයි. මේවායේ අඩංගු නිකෝටින් සහ ඇල්කොලොසිඞ් රසායන හේතුවෙන් පාසල් දරුවන් සහ තරුණ පරපුර මේවාට දැඩිව ඇබ්බැහි වෙමින් පවතින අතර, තරුණ වයස් කාණ්ඩ අතර මුඛ පිළිකා බහුල වීමට එය ප්‍රධාන හේතුවක් වී තිබේ.
නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත පිළිකා ප්‍රතිශතයෙන් 14% ක්ම වාර්තා වන්නේ මුඛ පිළිකා රෝගීන් වන අතර, වසරකට අලුතින් ලියාපදිංචි වන මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාව 2000 ත් 2500 ත් අතර අගයක් ගනී. මෙම භයානක රෝගී තත්ත්වය හේතුවෙන් ලංකාව තුළ වසරකට රෝගීන් 1100 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන අතර, එය දිනකට මරණ 3 ක සාමාන්‍ය අගයකි. මීට අමතරව, කල්තියා හඳුනා ගැනීමට අපහසු ගලනාළ පිළිකා සහිත රෝගීන් 1000 ක් සහ අග්න්‍යාශ පිළිකා රෝගීන් 100 ක් පමණ වසරකට අලුතින් වාර්තා වෙයි. පිළිකාවලට අමතරව, දුම්කොළ සහ පුවක් සැපීම නිසා මුඛය විවෘත කිරීමට පවා නොහැකි වන “මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියාව” (Oral Submucous Fibrosis) නමැති ප්‍රතිකාර කිරීමට අපහසු රෝගී තත්ත්වයට ගොදුරු වූ ලක්ෂ 2 කට ආසන්න පිරිසක් මෙරටින් හඳුනාගෙන තිබේ. ආරම්භයේදී මිරිස් දැවිල්ල සහ මුඛය සුදු පැහැ වීම මෙහි ලක්ෂණ වන අතර, එය අවසානයේදී පිළිකාවක් දක්වා වර්ධනය වෙයි.
මෙවැනි ව්‍යසනකාරී සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදුවීම සහ ඔවුන් අකාලයේ මියයාම නිසා රටට අහිමි වන මිනිස් ශ්‍රමයේ වටිනාකම ඇතුළුව සමස්ත ආර්ථිකයට සිදුවන පාඩුව රුපියල් බිලියන 212 ක් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරිය (NATA) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එක්ව කළ සමීක්‍ෂණයකින් පෙන්වා දී ඇත. මෙම තත්ත්වය මර්දනය කරනු වස්, ජාතික දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරී පනතේ 33 වැනි වගන්තිය යටතේ ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාව තුළ සියලුම ආකාරයේ දුම්රහිත දුම්කොළ නිෂ්පාදන නිෂ්පාදනය, විකිණීම, ආනයනය සහ ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ. තරුණ ජීවිත විනාශ කරන මෙම බෝම්බවලින් මිදී, පිළිකා ලක්ෂණ පවතී නම් ඒවා කල්තියා හඳුනාගෙන ශල්‍යකර්ම හෝ විකිරණ ප්‍රතිකාර මඟින් සුවපත් කර ගැනීමට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















