ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශිත බදු මට්ටම්වලට වඩා අඩුවෙන් මෙරට දුම්වැටි සඳහා බදු පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට වාර්ෂිකව අතිවිශාල බදු ආදායමක් අහිමි වෙමින් පවතින බව වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනයේ නවතම දත්ත විශ්ලේෂණයන් පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මත නිර්දේශයට අනුව වෙළඳපොළේ වැඩිම අලෙවියක් ඇති දුම්වැටි සන්නාමයක සිල්ලර මිලෙන් අවම වශයෙන් 75%ක්ම බදු වශයෙන් පැවතිය යුතු වුවද, ශ්‍රී ලංකාව දිගින් දිගටම එම සීමාවට වඩා අඩු මට්ටමක බදු පවත්වාගෙන යාම මීට ප්‍රධානතම හේතුව වී තිබේ.
මෙම දෝෂ සහිත බදු ප්‍රතිපත්තිය හේතුවෙන් පසුගිය 2024 වසරේදී පමණක් රජයට අහිමි වී ඇති සමස්ත බදු ආදායම රුපියල් බිලියන 9.4ක් හෙවත් රුපියල් කෝටි 940කි. එම තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් 2025 වසර වන විට මෙරට දුම්වැටි මිලෙහි බදු ප්‍රතිශතය 68.4%ක් වැනි සිනාසෙන්නට තරම් අඩු මට්ටමකට තවත් පහත වැටී ඇත. මේ හේතුවෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 75%ක සීමාව සමඟ සසඳා බැලීමේදී, ගතවූ 2025 වර්ෂය සඳහා පමණක් ශ්‍රී ලංකා රජයට අහිමි වන සමස්ත බදු ආදායම රුපියල් කෝටි 1,000ක (රුපියල් බිලියන 10ක) සීමාව ද අතික්‍රමණය කරනු ඇති බව වත්මන් ආර්ථික දත්ත ගණනය කිරීම් මඟින් පැහැදිලි වෙයි. මෙලෙස අහිමි වන මහා ධනස්කන්ධය දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රය නඟාසිටුවීමට යෙදවිය හැකිව තිබූ මුදල් බව ආර්ථික විද්වත්හු වැඩිදුරටත් පෙන්වා දෙති.
















