මීගොඩ ප්‍රදේශයේ වෙසක් දන්සල් පෝලිමක සිටි පිරිසක් යටකරමින් පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවූ කැබ් රථය තුළ අනතුර සිදුවන අවස්ථාවේ රැඳී සිට පලාගොස් සැඟව සිටි අවසන් සැකකරු ද අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට මීගොඩ පොලිසිය සමත්ව තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පන්නිපිටිය, පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචි දොන් සරත් හෙට්ටිගේ නැමැති සැකකරුය. අනතුර සිදුවූ මැයි 31 වැනිදා සිට දින 6ක් පුරා මොහු පොලිසිය මඟහරිමින් සැඟව සිටි අතර, ඔහුව කොටුකර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් දීර්ඝ විමර්ශනයක නිරතව සිටියහ.
මීට පෙර, මෙම කැබ් රථයේ ලියාපදිංචි හිමිකරු වන අත්තනායක දොන් වසන්ත (පිළියන්දල) සහ එහි ගමන් ගත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර් (පන්නිපිටිය) යන සැකකරුවන් දෙදෙනා අද පෙරවරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් මීගොඩ පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණි. ඔවුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජූනි 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඊයේ (05) දිනයේදී පොලිසිය විසින් මෙම පලාගිය සැකකරුවන් තිදෙනාගේම ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරමින් මහජන සහාය ඉල්ලා සිටි අතර, ඉන් පැය 24ක් ගතවීමටත් පෙර රථයේ හිමිකරු ඇතුළු අනෙක් පුද්ගලයා පොලිසියට භාර වූ අතර, ඉතිරිව සිටි දොන් සරත් හෙට්ටිගේ නැමැති මෙම සැකකරු ද අද පස්වරුවේ පොලිස් දැලට හසුකර ගැනීමට හැකිව තිබේ.
අනතුර සිදුකළ බීමත් රියදුරු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, මේ අනුව අනතුර සිදුවූ අවස්ථාවේ කැබ් රථයේ ගමන් ගත් සහ ඊට සම්බන්ධ වූ සියලුම සැකකරුවන් (සිව්දෙනාම) මේ වන විට නීතියේ රැහැණට හසුකරගෙන අවසන්ය.
















