දකුණු ලෙබනන් කලාපයට එල්ල වූ දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් එහි රැඳී සිටි, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බවට විශ්වාස කෙරෙන කාන්තාවක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර අල් ජසීරා (Al Jazeera) පුවත් සේවය වාර්තා කර තිබේ.
ලෙබනනය තුළ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා පළාගොස් තිබුණද, මෙම ලාංකික කාන්තාව යුද කලාපයෙන් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කර තිබුණේ අතහැර දමා ගොස් සිටින අසරණ වීදි සතුන් පිළිබඳව උපන් දැඩි දයානුකම්පාව නිසාවෙනි. ඇය එම අවදානම් ප්‍රදේශයේම රැඳී සිටිමින් බළලුන් සහ සුනඛයින් පෝෂණය කිරීමට හා රැකබලා ගැනීමට කටයුතු කරමින් සිටියදී මෙම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයට ඍජුවම හසුවී තිබේ.
අල් ජසීරා වාර්තාවට අනුව ඇයව හඳුනාගෙන ඇත්තේ ‘රහ්මා’ (Rahma) යන නමින් පමණක් වන අතර, ඇයගේ සැබෑ අනන්‍යතාවය, පවුලේ තොරතුරු හෝ ඇය ලංකාවේ පදිංචිව සිටි ප්‍රදේශය මෙතෙක් නිශ්චිතවම තහවුරු කර ගැනීමට හැකි වී නැත. මේ හේතුවෙන් ඇයගේ සැබෑ අනන්‍යතාවය හඳුනා ගැනීම සහ ඥාතීන් සොයා ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මහජනතාවගෙන් හදිසි සහයෝගයක් ඉල්ලා සිටියයි.
අදාළ කාන්තාව පිළිබඳව කිසියම් හෝ තොරතුරක් දන්නා අයෙක් සිටී නම් වහාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත පෞද්ගලිකව පැමිණ තොරතුරු ලබා දිය හැකිය. එම අංශය බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ 16 වැනි මහලේ පිහිටා ඇත.
එසේ නොමැති නම් +94 11 227 5525 යන දුරකථන අංකය ඔස්සේ හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය (Email) හරහා ද තොරතුරු ලබා දීමේ හැකියාව පවතියි. මේ සම්බන්ධයෙන් මහජනතාව ලබා දෙන සියලුම තොරතුරුවල රහස්‍යභාවය උපරිමයෙන් සුරකින බව ද නිලධාරීන් සහතික කර සිටියි.
















