වත්මන් සමාජ ආර්ථික පසුබිමට ගැළපෙන පරිදි මෙරට ඛනිජ සම්පත් උපරිම ඵලදායීතාවයකින් යුතුව භාවිත කිරීම සඳහා සකස් කරන ලද “නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය” එළිදැක්වීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම නව ජාතික ප්‍රතිපත්තිය 2026 ජුනි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් බලාත්මක කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට පෙර 1999 වසරේදී ප්‍රථම වරට ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් සකස් කර තිබූ අතර, එය 2023 වසරේදී සුළු සංශෝධනයකට ලක් කෙරිණි. කෙසේ වෙතත්, වර්තමාන ආර්ථික පරිවර්තනය හමුවේ ඛනිජ ක්ෂේත්‍රය සඳහා නව ප්‍රවේශයක සහ දැඩි නියාමනයක අවශ්‍යතාවය පැනනැඟීම හේතුවෙන් නව ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට රජයේ අවධානය යොමු විය. ඒ අනුව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පසුගිය පෙබරවාරි 09 වැනි දින ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවීමෙන් පසු මෙම නව ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම ආරම්භ කර තිබුණි.
මෙම නව ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේදී දේශීය ඛනිජවල පවතින ආවේණික ගුණාත්මකභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ඛනිජ සම්පත් පිළිබඳ ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම, අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම වෙනුවට අගය එකතු කරන ලද (Value-added) ඛනිජ සම්පත් නිෂ්පාදනය, පරිසරයේ තිරසාර කළමනාකරණය සහ ඛනිජ නිස්සාරණයට අදාළව පවතින ඉඩම් හිමිකම් ගැටලු නිරාකරණය කරගැනීම යන තීරණාත්මක කරුණු කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමු කර ඇත.
මෙම ජාතික ඛනිජ ප්‍රතිපත්තිය හරහා ප්‍රධාන ඉලක්ක කිහිපයක් අපේක්ෂා කරන අතර, නිරන්තරයෙන් යාවත්කාලීන වන ජාතික ඛනිජ සම්පත් ලේඛනයක් (Database) සකස් කිරීම, ඛනිජ සම්පත් තිරසාර ලෙස භාවිත කිරීම සහතික කිරීම, ජාතියට ප්‍රශස්ත ආර්ථික ප්‍රතිලාභ ලැබෙන පරිදි අගය එකතු කළ ඛනිජ අපනයන සහ ඛනිජ පදනම් වූ දේශීය නිෂ්පාදන දියුණු කිරීම, ආර්ථික සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය අතර නිසි සමතුලිතතාවය තහවුරු කිරීම, පර්යේෂණ හා සංවර්ධන (R&D) කටයුතු දිරිමත් කිරීම, ඛනිජ ක්ෂේත්‍රය තුළ යහපාලන මූලධර්මයන් ස්ථාපිත කිරීම සහ ආයෝජන හිතකාමී නියාමන රාමුවක් සැපයීම මඟින් නව ආයෝජන ප්‍රවර්ධනය කිරීම මින් ප්‍රධාන වේ.
මෙම ප්‍රතිපත්තියේ අඩංගු උපායමාර්ග සහ මූලධර්ම ඉදිරියේදී අදාළ පනත් සංශෝධනය කරමින් නීතිමය වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එම ක්‍රියාමාර්ග බලගැන්වීම සඳහා නියාමන ආයතන වෙත පූර්ණ බලතල පැවරීම ද සිදුවේ. මෙම නව ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී කර්මාන්ත ක්ෂේත්‍රයට සෘජු බලපෑමක් එල්ල වන බැවින්, අදාළ නියාමන ආයතන ඒකාබද්ධව පිළිගත හැකි රාමුවක් සකස් කර, සියලුම පාර්ශවකරුවන් සමඟ විවෘත උපදේශන ක්‍රියාවලියක් පැවැත්විය යුතු බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි. විෂයභාර අමාත්‍යාංශය මෙහි ප්‍රධාන භූමිකාව ඉටු කරන අතර, ඛනිජ ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ ආයතන අමාත්‍යාංශ කිහිපයක් යටතේ පවතින බැවින්, මෙහි ප්‍රගතිය අධීක්ෂණය කරන මණ්ඩලය අදාළ සියලුම අමාත්‍යාංශ නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතු බව ද නව ප්‍රතිපත්තියේ දක්වා ඇත.
















