වර්තමාන සමාජය තුළ දරුවන් මුහුණ දෙන විවිධ ශාරීරික හා මානසික අවදානම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකා පොලිසිය විසින් දෙමව්පියන් වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ. දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ මූලික වගකීම පැවරෙන්නේ දෙමව්පියන් සහ වැඩිහිටියන් වෙත බව පොලිසිය අවධාරණය කරයි.
තම දරුවන් ආරක්ෂිතද යන්න සහ ඔවුන් එදිනෙදා ගනුදෙනු කරන්නේ කවුරුන් සමඟද යන්න පිළිබඳව දෙමව්පියන් නිරන්තර අවධානයෙන් සිටිය යුතු බව පොලිසිය පෙන්වා දෙයි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය, ලිංගික අතවර සහ අන්තර්ජාලය ඔස්සේ දරුවන් ගොදුරු කරගැනීමට උත්සාහ කරන ආගන්තුක පුද්ගලයින් වැනි බරපතළ අවදානම් රැසක් සමාජය තුළ සැරිසරන බව පොලිසිය අනතුරු අඟවයි.
දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් තම දරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ හෝ සෘජුව සම්බන්ධ වන පුද්ගලයින් පිළිබඳව දෙමව්පියන් වඩාත් විමසිලිමත් විය යුතුය. එමෙන්ම දරුවාගේ හැසිරීම් රටාවේ සිදුවන හදිසි වෙනස්කම් ගැන අවධානයෙන් සිටීමත්, ඔවුන් මුහුණ දෙන අභියෝග හෝ බිය උපදවන කරුණු පිළිබඳව දෙමව්පියන් සමඟ විවෘතව කතා කිරීමට දරුවාට අවස්ථාව ලබා දීමත් අත්‍යවශ්‍ය වේ. අන්තර්ජාලය භාවිතයේදී දරුවාට මග පෙන්වීම සහ ආරක්ෂිත අන්තර්ජාල භාවිතය පිළිබඳව දැනුවත් කිරීම ද මෙහිදී වැදගත් වේ.
දරුවා යම් පීඩාවකට ලක්වී ඇත්නම් හෝ සැකකටයුතු තත්ත්වයක් උද්ගත වී ඇත්නම් වහාම ආසන්නතම පොලිස් ස්ථානයට හෝ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.
















