ඕස්ට්‍රේලියාව පදනම් කරගත් ‘ආර්ථික විද්‍යාව සහ සාමය පිළිබඳ ආයතනය’ (IEP) විසින් නිකුත් කළ 2026 ගෝලීය සාම දර්ශක (GPI) වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව ‘අධි අවදානම්, බලශක්ති ආනයනය මත යැපෙන ආර්ථිකයක්’ ලෙස වර්ගීකරණය කර තිබේ. මැදපෙරදිග පවතින යුධමය වාතාවරණය හේතුවෙන් ගෝලීය බොරතෙල් සහ LNG මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම, මෙරට ආර්ථික ස්ථාවරත්වයට එල්ල වී ඇති ප්‍රධානතම තර්ජනය බව එම වාර්තාව පෙන්වා දෙයි.
මෙරට සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 60%ක්ම සපුරා ගනු ලබන්නේ විදේශයන්ගෙන් ආනයනය කරන ඉන්ධන මඟින් බැවින්, ගෝලීය බලශක්ති අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යූහය පහසුවෙන් කඩා වැටීමේ අවදානමක් පවතී. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ උද්ධමනය පාලනය කරමින් ලබා ගත් සාපේක්ෂ ස්ථාවරත්වය, ඉන්ධන මිල ඉහළ යාම නිසා ඇතිවන මූල්‍ය පීඩනය හමුවේ ආපස්සට හැරවීමේ තර්ජනයක් පවතින බව IEP ආයතනය අවධාරණය කරයි.
ගෝලීය සාම දර්ශකයට අනුව, දේශීය ආරක්ෂාව අතින් ශ්‍රී ලංකාව 67 වැනි ස්ථානය දක්වා ඉහළ ප්‍රගතියක් ලබා තිබුණ ද, බලශක්ති අර්බුදය ජාතික මූල්‍ය පැවැත්මට එල්ල කර ඇත්තේ අතිශය බරපතල තර්ජනයකි. මීට අමතරව, කෘතිම බුද්ධි (AI) තාක්ෂණයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය දත්ත මධ්‍යස්ථානවල විදුලි පරිභෝජනය 2030 වන විට 100%කින් ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ. මෙම නව බලශක්ති ඉල්ලුම ගෝලීය බලශක්ති පද්ධතීන් වෙනස් කරමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකාව වැනි ඉන්ධන මත දැඩිව යැපෙන රටවලට තම ආර්ථිකය ආරක්ෂා කර ගැනීම දැවැන්ත අභියෝගයක් වනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.















