පෑලියගොඩ මැනිං වෙළඳපොළ පරිශ්‍රය පිරිසිදු කිරීමේ “ක්ලීන් මැනින්” වැඩසටහන අද (ජුනි 14) පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වෙළඳපොළ පරිශ්‍රයේ පවතින තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පෑලියගොඩ මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමය, පෑලියගොඩ නගර සභාව, පෑලියගොඩ පොලිස් ස්ථානය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ඒකාබද්ධව සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, පෑලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා, පෑලියගොඩ මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්, රජයේ නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයින් සහ විශාල වෙළඳ ප්‍රජාවක් සහභාගී වූහ.
පෑලියගොඩ පිහිටි මැනිං වෙළඳපොළ ශ්‍රී ලංකාවේ පැරණිතම සහ ප්‍රධානතම එළවළු සහ පලතුරු තොග වෙළඳපොළ ලෙස සැලකේ. කෙසේ වෙතත්, වෙළඳුන්ට සුදුසු තත්ත්වයන් යටතේ සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පාරිසරික පහසුකම් සහ පිරිසිදුකම මැනිං වෙළඳපොළ පරිශ්‍රයේ නොමැති බව නිරීක්ෂණය වී තිබූ බැවින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
















