මාතලේ පොලිස් වසමේ, වැහිගල මාර්ගයේ කඩුපවල ප්රදේශයේදී ඊයේ (15) උදෑසන සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ මාර්ගයේ කාර්මික දෝෂයකට ලක්වූ ලොරි රථයක් තවත් ට්රක් රථයක ආධාරයෙන් මාර්ගයට ගැනීමට යාමේදී, එය මාර්ගය හරහා ඇද තිබූ කේබලයක යතුරුපැදියක් ගැටීමෙනි. වැහිගල දෙස සිට කඩුපවල දෙසට ධාවනය වෙමින් තිබූ මෙම යතුරුපැදියේ ගමන් ගත් යතුරුපැදිකරු අනතුරින් එම ස්ථානයේදීම මියගොස් ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ පිටුපස ගමන් කළ 14 හැවිරිදි දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්රතිකාර සඳහා මාතලේ රෝහලට ඇතුළත් කර තිබේ. මියගිය පුද්ගලයා 48 හැවිරිදි වෑඋඩහිතල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධියට සම්බන්ධ ට්රක් රථයේ රියදුරු සහ බලපත්ර නොමැතිව දැව ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයද පොලිස් භාරයට ගෙන ඇත. මාතලේ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
















