එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයට (Brexit) මේ ජූනි මස 23 වැනි දිනට දශකයක් (වසර 10ක්) සම්පූර්ණ වේ. මෙම ඓතිහාසික ජනමත විචාරණයේදී එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දැරූ ව්‍යාපාරික සහෝදරයින් දෙදෙනෙකු වන නයිජල් බැක්ස්ටර් සහ ඉයන් බැක්ස්ටර් යන දෙදෙනාම අද වන විට එම තීරණය පිළිබඳව දැඩි කලකිරීමකින් පසුවන බව වාර්තා වේ.
බ්‍රෙක්සිට් තීරණය සම්බන්ධයෙන් නයිජල් බැක්ස්ටර් (RH Commercial Vehicles හි කළමනාකාර අධ්යක්ෂ) සහ ඉයන් බැක්ස්ටර් (Baxter Freight හි නිර්මාතෘ) යන දෙදෙනාගේම අදහස් එකිනෙකට වෙනස් වූවද අවසානයේ ඔවුන් දෙදෙනාම බලාපොරොත්තු සුන් වී සිටිති. 2016දී ඉවත් වීම සඳහා (Leave) ප්රබලව පෙනී සිටි නයිජල් පවසන්නේ බ්‍රෙක්සිට් නිසා බලාපොරොත්තු වූ නියාමනය ලිහිල් කිරීම, බදු අඩු කිරීම් සහ ආයෝජන වර්ධනය වැනි දේ මෙතෙක් සිදු නොවූ බවත් එයින් නිසි ප්‍රයෝජන ගැනීමට රජය අසමත් වී ඇති බවත්ය.
යුරෝපීය සංගමය තුළ රැඳී සිටීම (Remain) සඳහා පෙනී සිටි ඉයන් පවසන්නේ ඉවත්වීමෙන් බලාපොරොත්තු වූ සුරක්ෂිතභාවය හෝ සමෘද්ධිය නොලැබුණු බවත්, බ්‍රෙක්සිට් නිසා බ්‍රිතාන්‍ය සමාගම්වලට වෙළඳ කටයුතු කරගෙන යාම වඩාත් සංකීර්ණ වී ඇති බවත්ය.
මෙම සහෝදරයින් දෙදෙනාගේ මෙම හැඟීම සමස්ත බ්‍රිතාන්‍ය ජනතාවගේම පොදු හැඟීම පිළිබිඹු කරන්නක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මෑතකදී සිදු කළ මත විමසුමකට අනුව, බ්‍රිතාන්‍ය ජනතාවගෙන් 60%ක්ම සිතන්නේ යුරෝපීය සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණය වැරදි සහගත බවයි. පසුගිය දශකය පුරා බ්‍රිතාන්‍ය දේශපාලනය සහ ආර්ථිකය කෙරෙහි බ්‍රෙක්සිට් තීරණය දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, මේ වන විට ජනතාව අතර වැඩි වශයෙන් මතුව ඇත්තේ යුරෝපීය සංගමය සමග වඩාත් සමීප සබඳතා පවත්වා ගැනීමේ අවශ්‍යතාවයයි.
















