මෙරට පාසල් දරුවන් අතර පවතින වැරදි ආහාර රටා හේතුවෙන් ඔවුන්ගෙන් 12%ක් අධි බරින් ද, 3%ක් ස්ථුලතාවයෙන් ද පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය මෙම බියකරු දත්ත හෙළි කර සිටියේ 2024 ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණ වාර්තා පදනම් කර ගනිමිනි.
සමීක්ෂණය සඳහා වයස අවුරුදු 13ත් 17ත් අතර දරුවන් යොදාගෙන ඇති අතර, ඔවුන්ගේ දෛනික ආහාර පුරුදු පිළිබඳව සිදු කළ අධ්‍යයනයේදී අතිශය කණගාටුදායක කරුණු අනාවරණය වී තිබේ. 41%ක් දරුවන් දෛනිකව අධික සීනි සහිත ආහාර ලබා ගන්නා අතර, 29%ක් තෙල් සහිත ආහාර, 28.05%ක් අධික ලුණු සහිත ආහාර සහ 17.04%ක් කාබනීකෘත පාන වර්ග පානය කිරීමට හුරු වී ඇත.
මෙරට ජනගහන වර්ධන වේගය මීට පෙර පැවති 1.9ක මට්ටමේ සිට 1.3 දක්වා ශීඝ්‍රයෙන් පහළ බැස ඇති පසුබිමක, සිටින දරුවන් පිරිස ද මෙලෙස රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම රටේ අනාගතයට ඉතා අයහපත් බව විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කරයි. දරුවන්ගේ මෙම අනාරක්ෂිත ආහාර පුරුදු පාලනය කර ගැනීමට ගුරු-දෙගුරු සහ වගකිවයුතු ආයතන කඩිනමින් මැදිහත් විය යුතු කාලය එළඹ ඇත.
















