රට පුරා ඩෙංගු වෛරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය මේ වන විට බරපතල වසංගත තත්ත්වයකට පත්ව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පෙන්වා දෙන්නේ, ඉකුත් වසර පුරාම වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රමාණය ඉක්මවා යන වාර්තා මේ වන විටත් ලැබෙමින් පවතින බවයි. මෙම වසරේ මෙතෙක් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන් ආරක්ෂා කර ගැනීම සඳහා හෙට (18) සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කිරීමට නියමිතය. ඒ අනුව හෙට දිනයේ සිට සියලුම පාසල්වල ක්‍රියාත්මක කිරීමට යෝජිත ප්‍රධාන පියවර පහත පරිදි වේ:
හෙට දිනය ඩෙංගු මර්දන විශේෂ ශ්‍රමදාන දිනයක් ලෙස නම් කරමින්, පාසල් භූමියේ මදුරුවන් බෝ විය හැකි ස්ථාන එනම් ටයර්, ටින්, පොල්කටු සහ වැසි ජලය එකතු වන ස්ථාන වහාම විනාශ කිරීම සිදුකෙරේ. එමෙන්ම සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මදුරු මර්දන කටයුතු පිළිබඳව ගුරුවරුන් සහ දෙමාපියන් සම්බන්ධීකරණයෙන් දෛනිකව අධීක්ෂණය කරනු ඇත. මීට අමතරව උදෑසන රැස්වීමේදී සහ පන්ති කාමර තුළදී ඩෙංගු රෝග ලක්ෂණ සහ සිරුර වැසෙන පරිදි නිසි ඇඳුම් පැළඳුම් පැළඳීම පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සිදුකෙරෙන අතර, පාසල්වල පවතින ජල ටැංකි සහ වැසිකිළි පද්ධති සතියකට වරක් පරීක්ෂා කර බැලීම ද අනිවාර්ය කෙරේ.
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමඟ රෝහල් පද්ධතියට දැඩි පීඩනයක් එල්ල වී ඇති බවත්, මදුරුවන් බෝවන ස්ථාන තුරන් කිරීම සඳහා පෞද්ගලික සහ පොදු ස්ථාන සියල්ලේම එකතු වන ජලය ඉවත් කිරීමට ජනතාව වහාම කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
















