යාපනය සහ පලාලි ප්‍රදේශවල ආරක්ෂක අංශ සතු රජයේ සහ පෞද්ගලික ඉඩම් නැවත ජනතා අයිතියට පැවරීමේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජුනි 24 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, වරාය සහ සිවිල් ගුවන් සේවා මෙන්ම බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර සහ වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
මෙහිදී ඉඩම්වල මායිම් නැවත නිවැරදිව සකස් කිරීම හෙවත් ඉඩම් සීමා නිර්ණය කිරීම, ඉඩම් අයිතිකරුවන් සඳහා වන වන්දි ලබා දීමේ කටයුතු කඩිනම් කිරීම සහ හඳුනාගත් ඉඩම් කොටස් නියමිත අයිතිකරුවන්ට නැවත පවරා දීමට ප්‍රමුඛතාව ලබා දීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
මෙම ක්‍රියාවලිය ජාතික සංහිඳියාව සහ ප්‍රජාව නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය සාධකයක් බව අවධාරණය කෙරිණි. එමෙන්ම, ඉඩම් නිදහස් කිරීමේ අවසන් තීරණ ජාතික ආරක්ෂක සභාව (NSC) හරහා සිදු කිරීමට එකඟතාව පළ විය. මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා සහ අදාළ රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















