ලංකා නැව් සංස්ථාව සතු අනුබද්ධ සමාගම් 6ක රුපියල් මිලියන 630ක් ආයෝජනය කර ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 4ක වැනි ඉතා සුළු වාර්ෂික ලාභාංශයක් බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වී තිබේ. COPE කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම කරුණු ඇතුළු බරපතළ අක්‍රමිකතා රැසක් හෙළි විය. එහිදී සංස්ථාවේ 2024 – 2027 සංයුක්ත සැලැස්ම ප්‍රායෝගික නොවන, හුදෙක් පරිපාලන අවශ්‍යතාවලට පමණක් සීමා වූවක් බව පෙන්වා දුන් කමිටුව, සාමාන්‍යාධිකාරී ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් දිගු කලක් ‘වැඩබැලීමේ’ පදනම මත පැවතීම නිසා තීරණ ගැනීමේ ක්‍රියාවලිය දුර්වල වී ඇති බව ද නිරීක්ෂණය කළේය.
මීට අමතරව 2016 දී නෞකා දෙකක් මිල දී ගැනීමට ගත් ඩොලර් මිලියන 70ක ණය මුදලින් ඩොලර් මිලියන 47ක් තවමත් ගෙවීමට ඉතිරිව ඇති අතර, වාරික පැහැර හැරීම නිසා එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ද සිදුව ඇත. “සිලෝන් බ්‍රීස්” නෞකාවේ ලිහිසි තෙල් ලීටර් 1,852ක් අස්ථානගත වීම, පාසල් නිල ඇඳුම් ව්‍යාපෘතියකින් සිදුවූ රුපියල් මිලියන 1.4ක අලාභය සහ අයකර ගැනීමට ඇති රුපියල් මිලියන 6.3ක මුදල පිළිබඳව ද මෙතෙක් නිසි විමර්ශන සිදුව නොමැති බව එහිදී අනාවරණය විය.
එසේම සිංගප්පූරුවේ Wallem Shipping සමාගම සමඟ පවතින ගිවිසුමෙන් අපේක්ෂිත ආදායම් ලැබී නොමැති අතර, ඔවුන් ඉලක්ක සපුරා නොමැති වුවද දඬුවම් පැමිණවීමේ වගන්ති ඊට ඇතුළත් නොවීම බරපතළ අඩුපාඩුවක් ලෙස කමිටුව පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් මෙම ගිවිසුම 2026 සැප්තැම්බර් මස අවසන් වූ පසු, අතරමැදි සමාගම්වලින් ඉවත් වී සෘජු තැරැව්කරුවන් හයදෙනෙකු හරහා මෙහෙයුම් කිරීමට නව කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව නිලධාරීහු පැවසූහ. මේ අනුව ලංකා නැව් සංස්ථාව මුළුමනින්ම ප්‍රතිව්‍යුහගත කරන ලෙස නියෝග කළ COPE කමිටුව, මෙම වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හෝ අල්ලස් කොමිසම හරහා විධිමත් විමර්ශන පවත්වන ලෙස නිර්දේශ කළේය.
















