හම්බන්තොටදී පැවැති දෙවන එක්දින තරගයෙන් සංචාරක ඉන්දීය වයස 19න් පහළ කණ්ඩායම කඩුලු 8කින් පරදවමින්, තරග 3කින් යුත් යොවුන් එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම කර ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් පිල ලකුණු 285කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර, එහිදී ගිම්හාන් මෙන්ඩිස් ලකුණු 41කට කඩුලු 5ක් දවාගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 48කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය. ශ්‍රී ලංකා ඉනිම සරසමින් දිමන්ත මහවිතාන නොදැවී සුපිරි ලකුණු 155ක් රැස් කළ අතර, සෙනුජ වෙකුණගොඩ ලකුණු 60ක් සහ නායක විමත් දින්සර නොදැවී ලකුණු 56ක් ලබාගනිමින් අර්ධ ශතකවලින් ජයග්‍රහණය ශක්තිමත් කළහ. ඒ අනුව තරගාවලියේ ජයග්‍රාහකයන් තීරණය කෙරෙන තීරණාත්මක තෙවන සහ අවසන් තරගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
















