ජර්මනියේ ප්‍රධාන මහජන සෞඛ්‍ය ආයතනය වන රොබට් කොච් ආයතනය (RKI) නිවේදනය කර සිටින්නේ, මේ වසරේ මේ දක්වා තාපය ආශ්රිත මරණ 5,120 ක් වාර්තා වී ඇති බවයි. ඉන් වැඩි ප්‍රමාණයක් ජුනි මාසයේ සතියකට වැඩි කාලයක් යුරෝපය පුරා පැතිර ගිය දරුණු තාප තරංගය අතරතුර සිදුව ඇති බව එම ආයතනය වැඩිදුරටත් තහවුරු කරයි.
වාර්තා වන මරණ සංඛ්‍යාවෙන් 4,270 ක් පමණ වයස අවුරුදු 75 සහ ඊට වැඩි පුද්ගලයින් බවත්, අධික උෂ්ණත්වය හේතුවෙන් ඇති වූ සංකූලතා ඔවුන්ගේ ජීවිත අවදානමට ප්‍රධාන හේතුව වී ඇති බවත් සඳහන් වේ. ජුනි මස අගභාගයේදී ජර්මනියේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් ජන ජීවිතය දැඩි ලෙස අඩපණ විය.
මෙම අතිශය දරුණු කාලගුණික තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසට උපදෙස් ලබා දී තිබුණි. ජර්මානු රජය විසින් මෙවැනි ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් පියවර ගනිමින් සිටින අතර, අනාගතයේදී සිදුවිය හැකි උෂ්ණත්ව ඉහළ යාමකට මුහුණ දීම සඳහා සෞඛ්‍ය මධ්‍යස්ථාන සූදානම් කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීමට නියමිතය.
















