කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ මාර්ගයක් අසල අනවසරයෙන් විශාල කසළ තොගයක් බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ. මෙම නීතිවිරෝධී ක්‍රියාවට සම්බන්ධ වී ඇත්තේ කුරුණෑගල නගරයේ පවත්වාගෙන යන ප්‍රසිද්ධ හෝටලයක් සහ තරුණ පරපුර අතර ජනප්‍රිය පාන වර්ග අලෙවි කරන ආයතනයක් ඇතුළු පිරිසකි.
අනවසර කසළ බැහැර කිරීම සිදුව ඇත්තේ කුරුණෑගල-මහනුවර මාර්ගයේ ගැට්ටුවාන හන්දියේ සිට ධීවර සංස්ථාව හරහා දඹුල්ල මාර්ගයේ මුත්තෙට්ටුගල දක්වා දිවෙන අතුරු මාර්ගයේ පිහිටි අධිවේගී ගුවන් පාලම යට ප්රදේශයේය. නාගරික මන්ත්‍රී එරන්ද මාඩුගොඩ මහතා සහ ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම ස්ථානය පරීක්ෂා කර තිබේ.
එහිදී හිස් ප්ලාස්ටික් බීම බෝතල්, ප්ලාස්ටික් කෝප්ප, නරක් වූ මස් මාංශ සහ විවිධ ආහාර ද්‍රව්‍ය අඩංගු අපද්‍රව්‍ය රැසක් හමුවී ඇත. එම ස්ථානයේ තිබූ බිල්පත් සහ ලේඛන පරීක්ෂා කිරීමෙන් මෙම කසළ අදාළ හෝටලයට සහ බීම වර්ග අලෙවිසලට අයත් බව සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන ඇත. මෙම කුණු වූ ආහාර හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් හමන බවත්, එය ඩෙංගු මදුරුවන් සහ මැස්සන් බෝවීම වැනි සෞඛ්‍ය ගැටලු රැසකට තුඩු දී ඇති බවත් නිලධාරීහු පෙන්වා දෙති.
සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ හෝටලයේ කළමනාකරු එම ස්ථානයට කැඳවා දැඩි ලෙස අවවාද කර ඇති අතර, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇත. ප්‍රදේශයේ පවතින ඩෙංගු අවදානම හේතුවෙන් මෙවැනි පාරිසරික අපරාධ සිදු කරන පාර්ශ්වයන්ට එරෙහිව උපරිම නීතිමය පියවර ගත යුතු බව මන්ත්‍රී එරන්ද මාඩුගොඩ මහතා අවධාරණය කරයි.
















