එල්නිනෝ (El Niño) තත්ත්වයත් සමඟ මුහුදේ මතුපිට ජල ස්ථරයේ උෂ්ණත්වය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස, දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය ගහනය ගැඹුරු මුහුද දෙසට ඇදී යෑම නිසා මත්ස්‍ය අස්වැන්න පහළ ගොස් ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
වත්මන් වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ඉහළ යෑම කෙරෙහි මෙම පාරිසරික වෙනස්කම් ඍජුවම බලපා ඇති අතර, මෙම ගැටලුවට විද්‍යාත්මක විසඳුම් සෙවීම සඳහා NARA ආයතනයේ පර්යේෂකයින් කැඳවා මාස තුනක් ඇතුළත විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවක් ලබාදෙන ලෙස උපදෙස් දී ඇත. මෙම අර්බුදය හමුවේ ධීවරයින් මුහුණ දී ඇති අසීරුතාවලට කෙටිකාලීන සහනයක් ලෙස සුළු පන්න ධීවරයින් සඳහා මාසයකට රුපියල් 31,250 බැගින් මාස 3ක් සඳහා රුපියල් 93,750ක සහනාධාරයක් සහ බහුදින ධීවරයින් සඳහා එකවර රුපියල් ලක්ෂයක (100,000) සහනාධාරයක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. සුදුසුකම් ලත් ධීවරයින්ගෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයකට මේ වන විටත් අදාළ සහනාධාර මුදල් ලබාදී අවසන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා තහවුරු කළේය.














