පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණයේ මේ දක්වා අවිධිමත් අන්දමින් සිදුකෙරුණු කෙටි ආහාර වෙළෙඳාම වඩාත් විධිමත් හා සනීපාරක්ෂක ක්‍රමවේදයකට යටත්ව සංවිධානය කිරීම සඳහා විශේෂ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ, වෙළෙඳ සංකීර්ණය තුළ දිගුකාලීනව නිරත වූ කෙටි ආහාර වෙළෙඳුන් වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද නවීන ජංගම වෙළෙඳ කුටියක් සහ ඊට අදාළ උපකරණ කට්ටලයක් නොමිලේ ලබා දීමට පියවර ගෙන ඇත. එක් වෙළෙඳ කුටියක් සඳහා රුපියල් ලක්ෂ 8කට ආසන්න වටිනාකමක් ඇති අතර, ඒවා සංකේතාත්මකව බෙදා දීම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
දිනපතා මැනිං වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණෙන දහස් සංඛ්‍යාත පාරිභෝගිකයන්ට පිරිසිදු, සෞඛ්යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට පහසුකම් සැලසීම සහ වෙළෙඳ සංකීර්ණයේ අභ්‍යන්තර පරිසරය වඩාත් ආකර්ෂණීය ලෙස පවත්වාගෙන යාම මෙමඟින් අපේක්ෂා කෙරේ.














