කිසිදු පදනමක් හෝ තහවුරු කළ සාක්ෂියක් නොමැතිව, හුදෙක් ප්‍රකාශ මත පමණක් පදනම්ව සිදුකරන අත්අඩංගුවට ගැනීම් හමුවේ විපක්ෂයේ දේශපාලනඥයන් පමණක් නොව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවා දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ආණ්ඩුව තුළ අගමැතිනියට යම් තර්ජනයක් ඇතැයි ජනාධිපතිවරයාට සිතුණහොත්, කිසියම් පුද්ගලයකු ලවා ඇයටද මුදලින් කොටසක් ලැබුණු බවට ප්‍රකාශයක් ලබා දී ඇප නොමැතිව ඇයවද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්මන් ක්‍රමවේදය ඔස්සේ ඉඩකඩ ඇති බවයි. සාක්ෂි විමර්ශනයකින් තොරව ක්‍රියාත්මක වන මෙවැනි ක්‍රමවේද හරහා මෙරට නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.














