අධිකරණ බලය යනු ජනතාව සතු පරමාධිපත්‍ය බලයක් බැවින්, ජනතාව අධිකරණය සොයා පැමිණීම වෙනුවට අධිකරණ පද්ධතිය ජනතාව වෙත සමීප කරවීම රජයේ මූලික අරමුණ බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණ පද්ධතිය කඩිනමින් යාවත්කාලීන කිරීම ජනතාවගේ ප්‍රධානතම අභිලාෂයක් බවයි.
දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණ පද්ධතිය යාවත්කාලීන නොවීම හේතුවෙන් නඩු කටයුතු අනවශ්‍ය ලෙස කල්ගත වී සාමාන්‍ය ජනතාව දැවැන්ත පීඩාවකට පත්ව සිටින බව ඔහු පෙන්වා දුන්නේය. නඩුවාර ගණනාවක් අධිකරණයට යෑමට සිදුවීමෙන් ජනතාවට විශාල මුදලක් හා කාලයක් නාස්ති වන අතර, මෙම තත්ත්වය නිසා සාක්ෂි දීමට පවා මිනිසුන් මැළිකමක් දක්වන බව ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය. යාපනය හෝ අම්පාර වැනි දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹ අධිකරණ සොයා පැමිණීමේ අපහසුතාව මඟහරවා ගනිමින්, අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කළේය.
















