රුපියල් ලක්ෂ 9ක මුදලක් සහ තියුණු ආයුධ කිහිපයක් සමඟ සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මුර සංචාරයක නිරතව සිටි නිලධාරීන් විසින් යාපනය නගරය ආසන්නයේදී මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් පරීක්ෂා කිරීමේදී මෝටර් රථය තුළ තිබී තියුණු ආයුධ කිහිපයක් සහ රුපියල් ලක්ෂ 9ක මුදලක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
වැඩිදුර විමර්ශනවලින් අනතුරුව අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ගමන් කළ මෝටර් රථය සහ යතුරුපැදි දෙකද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















