වසර 100කට වැඩි කාලයකට පසු නව පෙන්ගුවින් විශේෂයක් ලෙස හඳුනාගත් පෙන්ගුවින් කාණ්ඩයක් පිළිබඳ නව විද්‍යාත්මක පර්යේෂණයක් මඟින් තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.
*Communications Biology* සඟරාවේ පළ කළ මෙම පර්යේෂණයට අනුව, මෙතෙක් එක් විශේෂයක් ලෙස සලකනු ලැබූ Gentoo පෙන්ගුවින් කාණ්ඩය ජානමය, ශාරීරික හා පාරිසරික වෙනස්කම් මත විශේෂ හතරක් ලෙස හඳුනාගත යුතු බව පර්යේෂකයෝ යෝජනා කරති. ඒ අතරින් **Pygoscelis kerguelensis** ලෙස නම් කර ඇති නව විශේෂය Kerguelen දූපත් ආශ්‍රිතව හඳුනාගෙන තිබේ.
නව විශේෂය බාහිර පෙනුමෙන් අනෙකුත් Gentoo පෙන්ගුවින්වරුන්ට බෙහෙවින් සමාන වුවද, ජානමය ලක්ෂණ, සිරුරේ ප්‍රමාණය, ශාරීරික ලක්ෂණ සහ හඬ ඇතුළු කරුණු කිහිපයක වෙනස්කම් පවතින බව පර්යේෂකයන් පෙන්වා දෙයි. මෙම පෙන්ගුවින් කාණ්ඩ හතර වසර ලක්ෂ 3ත් 5ත් අතර කාලයකදී එකිනෙකාගෙන් වෙන්ව පරිණාමය වී ඇති බවද පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.
මෙම අධ්‍යයනය සඳහා විවිධ ප්‍රජනන ජනපදවලින් ලබාගත් පෙන්ගුවින්වරුන්ගේ සම්පූර්ණ ජෙනෝම දත්ත ඇතුළු ජානමය, ශාරීරික හා පාරිසරික තොරතුරු විශ්ලේෂණය කර තිබේ. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ Gentoo පෙන්ගුවින් විශේෂ වෙන වෙනම හඳුනාගැනීම දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික තර්ජන හමුවේ වඩාත් නිවැරදි සංරක්ෂණ වැඩසටහන් සැලසුම් කිරීමට වැදගත් වන බවයි.
















