යේමනයේ ක්රියාත්මක ඉරාන හිතවාදී හවුති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ රියාද් අගනුවර ඉලක්ක කර එල්ල කරන බැලිස්ටික් මිසයිල ප්රහාර මාලාව තීව්ර වීමත් සමග, සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විශේෂ බංකර් සහිත අතිශය ආරක්ෂිත මාළිගා පරිශ්ර වෙත යොමු කර ඇති බව ඇමෙරිකාවේ ‘ද වෝල් ස්ට්රීට් ජර්නල්’ පුවත්පත වාර්තා කරයි. පසුගිය දිනවල රියාද්හි කිං කාලිඩ් ජාත්යන්තර ගුවන් තොටුපළ වෙත එල්ල වූ ප්රහාරවලින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පර්යන්ත පරිශ්රවලට දැඩි හානි සිදු වීමත් සමග අගනුවර යුද කලාපයක ස්වරූපයක් ගෙන තිබේ. මෙම හදිසි අනාරක්ෂිත තත්ත්වය හමුවේ සෞදි රාජකීය පවුලේ ආරක්ෂාව උපරිම මට්ටමින් දැඩි කිරීමට පියවර ගෙන ඇති අතර, රාජ්ය තාන්ත්රිකයන්ට සහ ජාත්යන්තර ආයතනවල නිලධාරීන්ටද ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස උපදෙස් දී ඇත.
මෙම අර්බුදය හමුවේ සෞදි අරාබිය සතු මිසයිල නාශක ආරක්ෂක පද්ධතිවල පවතින සීමිතභාවය හේතුවෙන් රාජකීය මාළිගා සහ තීරණාත්මක බලශක්ති යටිතල පහසුකම් සුරක්ෂිත කිරීම සඳහා ගුවන් ආරක්ෂණ පද්ධති නැවත ස්ථානගත කිරීමට සිදුව ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි. පවතින ගැටුම්කාරී වටපිටාව හේතුවෙන් රතු මුහුද හරහා සිදුවන තෙල් ප්රවාහනය සහ ‘නැගෙනහිර-බටහිර’ තෙල් නල මාර්ගයේ ආරක්ෂාව බරපතළ තර්ජනයකට ලක්ව ඇති අතර, සල්මාන් කුමරුගේ නායකත්වයෙන් ක්රියාත්මක වන ‘නියොම්’ ව්යාපෘතිය ඇතුළු දැවැන්ත ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. එහි සෘජු ප්රතිඵලයක් ලෙස 2026 වසරේදී සෞදි ආර්ථිකය 3.6% කින් හැකිළෙනු ඇති බවට එරට මුදල් අමාත්යාංශය අනුමාන කර ඇත.
පවතින කලාපීය බූදේශපාලනික සංකීර්ණතාව හමුවේ, හවුතිවරුන් පාලනය කරන භූමි ප්රදේශ ආපසු අත්පත් කරගැනීම සඳහා සෞදිය කළ සෘජු යුද සහාය ඉල්ලීම් වොෂින්ටනය මෙතෙක් අනුමත කර නොමැති වුවද, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර ඇත්තේ හවුතිවරුන්ට එරෙහිව සෞදිය සමග එක්ව හමුදාමය ක්රියාමාර්ග ගැනීමට ඇමෙරිකාව මැදිහත් විය හැකි බවයි. එමෙන්ම පවතින අර්බුදයට පිළියම් ලෙස පාකිස්තානයෙන් අමතර ගුවන් ආරක්ෂක පද්ධති ලබා ගැනීමටද සෞදි අරාබිය නීතිමය හා රාජ්ය තාන්ත්රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර තිබේ. ඉදිරි දිනවලදී හවුති ප්රහාර තවදුරටත් වර්ධනය වුවහොත්, එය සමස්ත මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුමට සහ ජාත්යන්තර ආර්ථික ස්ථාවරත්වයටද බරපතළ බලපෑමක් එල්ල කරනු ඇතැයි විචාරකයෝ අනතුරු අඟවති.












