නැමීබියාවේ හුආබ් ගංගා නිම්නයේදී මියගිය අලි පැටවකු රැගෙන යන අලි දෙනකගේ සංවේදී දසුනක් කැමරා කාචයට හසුකරගත් ඉතාලි ජාතික ඡායාරූප ශිල්පී ෆෙඩරිකෝ වෙරෝනෙසි (Federico Veronesi), 2026 වසරේ හොඳම වනජීවී ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනාගෙන තිබේ.
වසර 20ක කාලයක් සතුන්ගේ ඡායාරූපකරණයේ නිරතව සිටින තමන් දුටු වඩාත්ම හද කම්පා කරවන, සිත් ඇදගන්නාසුළු සහ නාට්යමය අවස්ථාව මෙය බව වෙරෝනෙසි සඳහන් කර ඇත.
සතුන්ගේ ලෝකයේ පවතින සංකීර්ණ හැඟීම් සහ හැසිරීම් පිළිබඳව මෙම ඡායාරූපය තුළින් අවබෝධයක් ලබාගත හැකි බවද ඔහු පෙන්වා දී තිබේ.
සතුන්ගේ බාහිර පෙනුමෙන් ඔබ්බට ගොස් ඔවුන්ටද ආවේණික සබඳතා, මතකයන් සහ හැඟීම් ඇති ජීවීන් ලෙස සැලකීමට මෙම ඡායාරූපය ජනතාව පෙළඹවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඡායාරූප ශිල්පියා සඳහන් කර ඇත.
මෙම වසරේ වනජීවී ඡායාරූප තරගයේ වාර්ෂික ප්රදර්ශනය ඔක්තෝබර් 16 වැනිදා ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේදී විවෘත කිරීමට නියමිත බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
















