සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව හිටපු ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියෝග කර තිබේ.
ජාත්යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් ලබාගැනීම සඳහා වරෙන්තුව ඉංග්රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම නිකුත් කිරීමටද මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර තිබේ.
2014 වසරේදී සංචාරක ප්රවර්ධන කාර්යාංශයට යොමු කළ රුපියල් මිලියන 7.8ක මුදලක් එහි ප්රවර්ධන කටයුතු සඳහා වැය නොකර, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් ලබාදීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
















