ශ්රී ලාංකික ඉංජිනේරු අනෝජන් සිවරාසා මහතාට පනවා තිබූ මරණ දඬුවම සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සෞදි අරාබි රජයට සහ ඊට දායක වූ සියලු පාර්ශ්වයන්ට සිය කෘතඥතාව පළ කර තිබේ.
මෙම තීරණය හේතුවෙන් අනෝජන් සිවරාසා මහතාගේ ජීවිතය ආරක්ෂා වීම පිළිබඳව තමන් ඉමහත් සතුටට පත්වන බව විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත.
මෙම ප්රතිඵලය ලබාගැනීම සඳහා දායක වූ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, උපුල් කුමරප්පෙරුම ඇතුළු නීති කණ්ඩායමටත්, ශ්රී ලංකාවේ සෞදි තානාපතිවරයාටත්, සහාය වූ අනෙකුත් සියලු දෙනාටත් ඔහු ස්තුතිය පළ කර තිබේ.
අනෝජන් සිවරාසා මහතාගේ ජීවිතයට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා තමන් සහ තම කණ්ඩායම ද හැකි සෑම උත්සාහයක්ම දැරූ බව සජිත් ප්රේමදාස මහතා සඳහන් කර ඇත.
එමෙන්ම, මරණ දඬුවම අවලංගු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සෞදි ශ්රේෂ්ඨාධිකරණයට සහ සෞදි අරාබියේ රජුට ද සිය ගෞරවය හා කෘතඥතාව පළ කර තිබේ.

















