දිට්වා ආපදාවෙන් හානියට පත් බදුලු ඔය වාරි ව්යාපාරයේ ස්ථිර ප්රතිසංස්කරණ කටයුතු අවසන් අදියරට පැමිණ තිබේ. එළඹෙන මහ කන්නය වෙනුවෙන් ඉදිරි දින කිහිපය තුළ දියවර නිකුත් කිරීමට පියවර ගන්නා බව සඳහන් වේ.
මෙම වාරි ව්යාපාරයේ ප්රතිසංස්කරණ කටයුතු පසුගිය ජුනි 5 වැනිදා වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරිණි. එහි ප්රගතිය නිරීක්ෂණය කිරීම සඳහා තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගියදා ක්ෂේත්ර චාරිකාවක නිරත වූහ.
1944 වසරේ ආරම්භ කළ බදුලු ඔය වාරි ව්යාපාරය ආශ්රිතව සිදුකෙරෙන දැවැන්තම සංවර්ධන කටයුත්ත ලෙස සැලකෙන මෙම ව්යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන 350ක් වැය කර තිබේ. ආපදාවෙන් පසු ගොවි ජනතාව මුහුණ දුන් ජල ගැටලුවට තාවකාලික විසඳුමක් ලෙස ජනවාරි මාසයේදී වැලි කොට්ට යොදා දියවර ලබාදීමට කටයුතු කර තිබූ අතර, පසුව ජුනි මාසයේදී ස්ථිර ප්රතිසංස්කරණ ආරම්භ කෙරිණි.
එම ප්රතිසංස්කරණ යටතේ ප්රධාන ඇළ මාර්ගයේ කිලෝමීටර් දෙකක කොටසක් කොන්ක්රීට් ආස්තරණය කර සම්පූර්ණයෙන්ම පිළිසකර කර ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් ඇතුළු සීමිත සේවක පිරිසක් මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ දිවා රෑ නොබලා කැපවීමෙන් කටයුතු කරමින් ව්යාපෘතිය අවසන් අදියරට ගෙන ඒමට දායක වී තිබේ.
අක්කර 1,775කට අධික වගාබිම් ප්රමාණයකට ජලය සපයන මෙම වාරි ව්යාපාරය ප්රතිසංස්කරණය කිරීමෙන් පෙර පැවති ජල හිඟයට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම පෙර පැවති ධාරිතාවට සාපේක්ෂව දෙගුණයකට ආසන්න ජල ප්රමාණයක් රැගෙන යාමට හැකිවීම හේතුවෙන් යල සහ මහ කන්නවලට අමතරව අතුරු කන්නයක්ද වගා කිරීමට ප්රදේශයේ ගොවි ජනතාවට අවස්ථාව සැලසෙනු ඇතැයි සඳහන් වේ.
මෙම ව්යාපෘතිය මඟින් කන්දකැටිය ප්රදේශයේ ගොවි පවුල්වල ආර්ථිකය සහ ජීවනෝපාය ශක්තිමත් කිරීමට දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


















