බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ අනෙකුත් ආගමික පූජකවරුන් බන්ධනාගාරගත කිරීම සම්බන්ධ රෙගුලාසි සමාලෝචනය කර යාවත්කාලීන කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා වෙත භාරදී තිබේ.
ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේ, කමිටු සභාපති සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් ප්රින්ස් සේනාධීර මහතා විසින් අද (14) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම වාර්තාව භාරදුන් බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ත්රෛනිකායික මහා සංඝරත්නය අතර ඔක්තෝබර් 8 වැනිදා පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම කමිටුව පත් කර තිබිණි. බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති, රෙගුලාසි සහ ස්ථාවර නියෝග සමාලෝචනය කර සති දෙකක් ඇතුළත සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීම කමිටුවට පැවරුණු වගකීමයි.
ඒ අනුව, භික්ෂූන් වහන්සේලා සහ අනෙකුත් ආගමික පූජකවරුන් බන්ධනාගාරගත කිරීම සම්බන්ධ රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා වන යෝජනා ඇතුළත් වාර්තාව ඉදිරිපත් කර තිබේ.
කමිටු සාමාජිකයන් වන අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් මහත්මිය, රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතා සහ බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජනායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


















