සෞඛ්ය අමාත්යාංශය විසින් ලබා දෙන බවට පොරොන්දු වූ ඩෙංගු එන්නත මෙරටට තවමත් හඳුන්වා දී නොමැති බවත්, එය ආනයනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබාගැනීම පමා වීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් විශේෂඥ වෛද්ය චමල් සංජීව පවසයි.
වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා සඳහන් කළේ, මෑතකදී ඇති වූ දැඩි ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා එන්නතක් හඳුන්වා දෙන බවට අමාත්යාංශය ප්රකාශ කළද, එය මෙරටට ගෙන්වීමට අවශ්ය කටයුතු තවම නිසිපරිදි ක්රියාත්මක වී නැති බවයි. පෞද්ගලික අංශය හරහා ලබාගැනීමේදී එන්නත් මාත්රාවක් රුපියල් 50,000කට ආසන්න වන බවත්, අවශ්ය මාත්රා දෙක සඳහා රුපියල් 100,000කට අධික මුදලක් වැය වන බවත් ඔහු පෙන්වා දුන්නේය. දැනටමත් වෙනත් රටවල සාර්ථකව භාවිත කෙරෙන මෙම එන්නත පුද්ගලික අංශයට ගෙන්වීමට සැපයුම්කරුවන් වසර ගණනාවක් තිස්සේ උත්සාහ කළද, අනුමැතිය ලැබීම පමා වීම බාධාවක් වී ඇතැයි ඔහු චෝදනා කළේය. එබැවින්, මීළඟ ඩෙංගු වසංගතයට පෙර ඖෂධ නියාමන අධිකාරිය කඩිනමින් අනුමැතිය ලබා දී මහජනතාවට මෙම එන්නත ලබා ගැනීමට පහසුකම් සලසන ලෙස හෙතෙම ඉල්සා සිටියේය.


















