LOLC සමූහය සහ මහජන බැංකුව අතර සිදු වූ ණය ගනුදෙනුව සම්බන්ධයෙන් අන්තර්ජාලය හා සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන නොමඟ යවන සුළු සහ අසත්ය තොරතුරු ප්රතික්ෂේප කරන බව LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම පවසයි.
කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල පැහැදිලි කිරීමක් නිකුත් කරමින් සමාගම සඳහන් කර ඇත්තේ අදාළ දේශීය මුදල් ණය පහසුකම ලබාගෙන ඇත්තේ මහජන බැංකුවේම පවත්වාගෙන යන ඇමෙරිකානු ඩොලර් තැන්පතුවක් ඇපයක් ලෙස යොදා ගනිමින් බවයි. එම ණය පහසුකම වෙනුවෙන් බැංකුව සතුව පූර්ණ ඇපකර පවතින බවද සමාගම අවධාරණය කර තිබේ.
තම ගෝලීය භාණ්ඩාගාර මෙහෙයුම්වල කොටසක් ලෙස මහජන බැංකුව ඇතුළු දේශීය හා ජාත්යන්තර බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලර් තැන්පතු පවත්වාගෙන යන බවද LOLC සමූහය සඳහන් කරයි. එම තැන්පතු ඇපකර ලෙස භාවිත කරමින් ශ්රී ලංකාව තුළ සිය ව්යාපාරික මෙහෙයුම් සඳහා දේශීය මුදලින් අරමුදල් ලබාගන්නා බව සමාගම පෙන්වා දෙයි.
ඩොලර් තැන්පතුවේ පැවැත්ම හෝ එය පිහිටි ස්ථානය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පවතින බවටත්, මහජන බැංකුවට හඳුනා නොගත් විදේශීය වත්කමක් අත්පත් කර ගැනීමට සිදුවන බවටත්, මෙම ගනුදෙනුව ඇප රහිත අවදානමක් ඇති කරන බවටත් පළවන ප්රකාශවලට සත්ය පදනමක් නොමැති බව සමාගම ප්රකාශ කර තිබේ.
මෙම ගනුදෙනුව සාමාන්ය භාණ්ඩාගාර ගනුදෙනුවක් බව සඳහන් කරන LOLC සමූහය, එම ක්රමවේදය මඟින් සිය ඩොලර් වත්කම් සුරක්ෂිතව පවත්වාගෙන යන අතරතුර රටවල් 27ක ක්රියාත්මක සිය ජාත්යන්තර ව්යාපාර සඳහා දේශීය මුදල් අරමුදල් සපයා ගැනීමට හැකි වන බවද කියා සිටියි.
එසේම, මෙම ගනුදෙනුව බැංකු පිළිවෙත් උල්ලංඝනය කිරීමක්, විදේශ විනිමය සමපේක්ෂනයක් හෝ මහජන මුදල් අවභාවිතයක් ලෙස හඳුන්වා දීමට දරන උත්සාහයන් සත්ය තොරතුරුවලින් තොර බව සමාගම අවධාරණය කර ඇත.
අසත්ය සහ නොමඟ යවන සුළු තොරතුරු ප්රචාරය කිරීම සම්බන්ධයෙන් අදාළ නියාමන ආයතන සහ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවද LOLC හෝල්ඩින්ග්ස් සඳහන් කරයි. එමෙන්ම, අදාළ පුද්ගලයන්ට සහ සංවිධානවලට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමේ අයිතිය තමන් සතු බවද සමාගම වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.











