ශ්රී ලංකා ගුවන්ගමන් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින් මෙරට ප්රථම මගී ප්රවාහන ඩ්රෝන යානය දිවයිනට පැමිණ ඇති අතර, එහි මංගල පියාසර වාරය මෙම මාසය අවසානයේදී කොළඹ වරාය නගරයේදී පැවැත්වීමට නියමිත බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිල වශයෙන් නිවේදනය කරයි. ගුවන් ප්රවාහන ක්ෂේත්රයේ නැගී එන නවීන තාක්ෂණය මෙරටට හඳුන්වාදීමේ සුවිශේෂී පියවරක් ලෙස සැලකෙන මෙම ව්යාපෘතිය මඟින්, මෙරට නාගරික ප්රවාහන පද්ධතියට මෙන්ම ගුවන් ගමන් ක්ෂේත්රයේ අනාගතයටද සුවිශේෂී තාක්ෂණික පිම්මක් හිමිව තිබේ.
ගුවන් යානා තාක්ෂණය මත පදනම් වූ මගී ප්රවාහනය ජාත්යන්තර වෙළඳපොළට හඳුන්වාදීම වේගවත් කිරීම උදෙසා EHang සමාගම මඟින් දියත් කරන ලද “Global Fast Track Program” වැඩසටහන හරහා ශ්රී ලංකාවට හිමිවූ මෙම සුවිශේෂී අවස්ථාව යටතේ, එක් වරකට මගීන් දෙදෙනෙකුට විනාඩි 30ක කාලයක් අඛණ්ඩව ගමන් කිරීමේ පහසුකම් සැලසේ. කොළඹ වරාය නගරය මෙම මගී ඩ්රෝන යානාවල ප්රධාන මෙහෙයුම් මධ්යස්ථානය ලෙස නම් කර ඇති අතර, ඉදිරියේදී සීගිරිය, පිදුරංගල සහ ඒ ආශ්රිත ප්රමුඛ සංචාරක කලාපයන් ඉලක්ක කරගනිමින් විදේශීය හා දේශීය සංචාරකයින් උදෙසා විශේෂ පියාසර වාර ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇත.
මෙම තාක්ෂණික හඳුන්වාදීම හරහා මෙරට සංචාරක ව්යාපාරයට ලැබෙන ඉහළ ආකර්ෂණය සහ නව ආයෝජන අවස්ථා මඟින් ජාතික ආර්ථිකයට සැලකිය යුතු උත්තේජනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරියේදී මගී ඩ්රෝන මෙහෙයුම් සඳහා අවශ්ය වන නියාමන රාමුව සහ ආරක්ෂිත ගුවන් සීමා ප්රතිපත්ති සම්පාදනය කිරීම මඟින්, ශ්රී ලංකාව කලාපීය තාක්ෂණික හා සංචාරක මධ්යස්ථානයක් ලෙස ගොඩනැගීමට නියමිත අතර එය මෙරට නවීන ප්රවාහන යටිතල පහසුකම්හි සුවිශේෂී සංධිස්ථානයක් වනු ඇත.















