මෙරට රෝහල් පද්ධතියේ සහ මහජනතාවගේ අත්යවශ්ය ඖෂධ අවශ්යතාවලින් සියයට 85කට අධික ප්රමාණයක් විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුව තිබෙන සන්දර්භය තුළ, ඖෂධ ආනයන මත පවතින විදේශීය යැපීම අවම කිරීමේ ප්රමුඛ ජාතික අරමුණ පෙරදැරිව කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ස්ථාපිත කරන ලද මෙරට ප්රථම ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු 2027 වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්වූ මෙම ව්යාපෘතිය, පසුගිය වකවානුවේ පැවැති ගෝලීය හා දේශීය ආර්ථික අර්බුද හමුවේ දැඩි ලෙස බිඳවැටුණු සෞඛ්ය සැපයුම් ජාලය ස්ථාවර කිරීමේ හා ජාතික සෞඛ්ය ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමේ තීරණාත්මක සංධිස්ථානයක් ලෙස හඳුනාගත හැකිය.
ශ්රී ලංකා රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සහ Premium International Injectable (Pvt) Ltd ආයතනය එක්ව රුපියල් බිලියන 3කට අධික ආයෝජනයකින් ක්රියාත්මක කරනු ලබන මෙම ඒකාබද්ධ ව්යාපාරය, වසර 15ක දිගුකාලීන ඖෂධ සැපයුම් ගිවිසුමකට යටත්ව පවතී. කර්මාන්තශාලාවේ භෞතික ඉදිකිරීම් කටයුතු මේ වන විට පූර්ණ ලෙස අවසන් කර ඇති අතර, ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව සිදුකරනු ලබන වලංගුකරණ (Validation) ක්රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව ඉන්සියුලින්වලට අමතරව නිර්වින්දන ඖෂධ සහ වේදනා නාශක ඇතුළු අත්යවශ්ය ඖෂධ වර්ග 33ක් දක්වා නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට නියමිතය.
මෙමඟින් දේශීය වෙළෙඳපොළේ ඉන්සියුලින් හා අත්යවශ්ය ඖෂධ අඛණ්ඩව සැපයීම සහ ඒවායේ ගුණාත්මකභාවය රාජ්ය මට්ටමින් නිරීක්ෂණය කිරීමේ හැකියාව හිමිවන අතරම, ආනයන සඳහා වැයවන විශාල විදේශ විනිමය ප්රමාණයක් රට තුළ ඉතිරි කරගැනීමටද මඟපෑදෙයි. දේශීය අවශ්යතා සම්පූර්ණයෙන් සපුරාලීමෙන් අනතුරුව, රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා මාලදිවයින සහ ටිමෝර්-ලෙස්ටේ වැනි විදේශීය වෙළෙඳපොළ වෙත ඖෂධ අපනයනය කිරීම කෙරෙහි ද අවධානය යොමුකර ඇති බැවින්, මෙම ව්යාපෘතිය ඉදිරියේදී ශ්රී ලංකාව කලාපීය ඖෂධ නිෂ්පාදන සහ අපනයන මධ්යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ විභවයකින් යුක්ත වේ.
















