ඓතිහාසික හා පාරිසරික වශයෙන් මහත් වටිනාකමකින් යුත් අග්බෝ ඇතා සොයා පරිසර අමාත්යාංශයේ උපදෙස් මත ශ්රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව දියත් කර ඇති විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් අතිශය තීරණාත්මක අදියරකට එළඹ තිබේ. 21 වන පාබල සේනාංකයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සෙබළුන් සහ වනජීවී නිලධාරීන් එක්ව එහෙයිය වැවේ සිට මහකනදරාව දක්වා වන ජල මාර්ගයේ දකුණු ඉවුර ආශ්රිතව සහ තෝඩමඩුව ප්රදේශයේ සිදුකළ පරික්ෂාවන්හිදී අග්බෝ ඇතා නාච්චාදූව වැව දෙසට ගමන් කර ඇති බවට වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර, මද කිපී ඇති තත්ත්වයක පසුවන අග්බෝ ඇතාගේ සීඝ්ර චලනය හේතුවෙන් මෙහෙයුම්වල සංකීර්ණත්වය තවදුරටත් ඉහළ ගොස් ඇත.
මෙම මෙහෙයුම් අතරතුරදී අග්බෝ ඇතාට සමාන ශාරීරික ලක්ෂණ සහිත දළ ඇතෙකු ඇතුළත් අලි රංචුවක් නිරීක්ෂණය වූ අතර, සත්ත්වයා සපථ කරගැනීමට ආරක්ෂක හා වනජීවී කණ්ඩායම් ආසන්නයට ගමන් කිරීමේදී එම රංචුව ඝන කැලෑ ප්රදේශයට පසුබැස තිබේ. මීට අමතරව, අලුයම කාලයේදී අග්බෝ ඇතා නාච්චාදූව ප්රදේශයට ගමන් කළ බවට ප්රදේශවාසී ගොවීන්ගෙන් ලද බුද්ධි තොරතුරු මත පදනම්ව එම ප්රදේශයන්හි ආරක්ෂක හා සෝදිසි මුර සංචාර දැඩි කිරීමට පියවර ගෙන ඇත. ශ්රී ලංකාවේ අලි සම්පත සහ වනජීවී උරුමය සුරක්ෂිත කිරීමේ ජාතික වගකීම පෙරදැරි කරගනිමින් ක්රියාත්මක වන මෙම මෙහෙයුම, රාජ්ය ආයතනයන්හි ඒකාබද්ධ මැදිහත්වීම පෙන්නුම් කරන සුවිශේෂී අවස්ථාවකි.
අග්බෝ ඇතා සිටින නිශ්චිත ස්ථානය තහවුරු කරගනිමින් සත්ත්වයාගේ මෙන්ම ප්රදේශවාසී මහජනතාවගේ ද සුරක්ෂිතතාව තහවුරු කිරීම උදෙසා මෙම මෙහෙයුම් ඉදිරි දිනවලදීත් අඛණ්ඩව පවත්වාගෙන යාමට පරිසර අමාත්යාංශය තීරණය කර තිබේ. සත්ත්වයා මද කිපී සිටින බැවින් ඇතිවිය හැකි වන අලි-මිනිස් ගැටුම් සහ ආපදා තත්ත්වයන් වළක්වා ගැනීමටත්, ඇතාට අවශ්ය පශු වෛද්ය හා ආරක්ෂක සංරක්ෂණයන් ලබා දීමටත් යුද හමුදාව සහ වනජීවී නිලධාරීන්ගේ සෘජු නිරීක්ෂණය යටතේ ඉදිරි ක්රියාමාර්ග ගැනීමට නියමිතය.















