කෘතිම බුද්ධිය (AI) භාවිතය ඉහළ නැංවීමත් සමඟ ගෝලීය බැංකු ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන බාක්ලේස් (Barclays) ආයතනය රැකියා 5,000ක් කප්පාදු කිරීමට පියවර ගැනීම ගෝලීය රැකියා වෙළඳපොළ තුළ බරපතල සංවාදයක් නිර්මාණය කර තිබේ.
නවීකරණ සැලැස්මේ කොටසක් ලෙස මේ වන විටත් රැකියා 1,000ක් අහෝසි කර ඇති අතර, මෙම වසර අවසන් වීමට පෙර සමස්ත ගෝලීය සේවක සංඛ්යාවෙන් 5%ක ප්රමාණයක් ආවරණය වන පරිදි තවත් රැකියා 4,000ක් අහෝසි කිරීමට නියමිත බව විදේශ මාධ්ය වාර්තා කරයි. මෙම පිරිවැය කප්පාදුව ප්රධාන වශයෙන් එක්සත් රාජධානියේ සිල්ලර බැංකුකරණ අංශය ඉලක්ක කරගනිමින් ක්රියාත්මක වන අතර, එහි පසුපෙළ පරිපාලන කටයුතු සිදුකරන ඉන්දියාවේ පිහිටි මධ්යස්ථානවල සේවකයන්ටද මෙයින් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. HSBC, Standard Chartered සහ Danske Bank වැනි ප්රමුඛ පෙළේ ගෝලීය බැංකු රැසක්ද මේ වන විටත් AI තාක්ෂණය හේතුවෙන් රැකියා කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෘදුකාංග සංවර්ධනය සහ පරිපාලනමය කාර්යයන් සඳහා AI මෙවලම් සහ ස්වයංක්රීය පද්ධති බහුලව යොදාගැනීම හමුවේ, ඉදිරියේදී සේවා නියුක්ති රටාවන්හි සැලකිය යුතු වෙනසක් සිදුවනු ඇති බවට ආර්ථික විද්යාඥයෝ පෙන්වා දෙති. ගෝලීය මූල්ය ක්ෂේත්රය තුළ පිරිවැය අවම කරගනිමින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සමාගම් පෙළඹීමත් සමඟ සාම්ප්රදායික රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ පැනනගින අභියෝගයන් හමුවේ, තාක්ෂණික වෙනස්කම්වලට අනුගත වීමේ හා නැවත කුසලතා පූර්ණ වීමේ වැදගත්කම මෙම තත්ත්වය මගින් අවධාරණය කෙරේ.
















