2027 වසරේදී ජපානය සහ ශ්රී ලංකාව අතර රාජ්ය තාන්ත්රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් නිල සැමරුම් ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා ජපාන රජය මහජන තරගයක් ආරම්භ කර තිබේ.
ජපාන විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කරන්නේ, මෙම තරගයෙන් තෝරාගන්නා නිර්මාණය දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් සැමරුම් වැඩසටහන් මාලාවේ නිල ලාංඡනය ලෙස භාවිත කරන බවයි.
වයස් සීමාවක් හෝ පදිංචි රට පිළිබඳ සීමාවක් නොමැතිව ජපාන සහ ශ්රී ලාංකික පුරවැසියන්ට මෙම තරගයට සහභාගි විය හැකිය. නිර්මාණ භාරගැනීම 2026 නොවැම්බර් 13 වැනිදා අවසන් වන අතර, “Logo Entry” යන විෂයය සඳහන් කර [email protected] යන විද්යුත් තැපැල් ලිපිනයට ඒවා යොමු කළ යුතුය.
ඉදිරිපත් කරන නිර්මාණයේ වර්ණ සහ කළු-සුදු පිටපත් දෙකම ඇතුළත් විය යුතු අතර, නිර්මාණය පිළිබඳ වචන 80ක පමණ පැහැදිලි කිරීමක් ද වෙනම ඉදිරිපත් කළ යුතුය. JPEG, PDF හෝ EPS ආකෘතිවලින්, මෙගාබයිට් 3 නොඉක්මවන ගොනුවක් ලෙස සහ අවම වශයෙන් 300 DPI විභේදනයකින් නිර්මාණ යොමු කළ යුතු වේ.
මෙම තරගය සඳහා ජනක කෘත්රිම බුද්ධි (Generative AI) තාක්ෂණය භාවිත කර ලාංඡන නිර්මාණය කිරීම තහනම් කර තිබේ. එමෙන්ම සියලු නිර්මාණ මුල් නිර්මාණ විය යුතු අතර, මීට පෙර ප්රකාශයට පත් නොකළ ඒවා විය යුතුය. ප්රකාශන හිමිකම් හෝ වෙළෙඳ ලකුණු අයිතිවාසිකම් උල්ලංඝනය කරන නිර්මාණ ද ඉදිරිපත් කළ නොහැකිය.
ජයග්රාහී නිර්මාණය 2026 දෙසැම්බර් අගභාගයේදී ජපාන විදේශ කටයුතු අමාත්යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, ජයග්රාහී නිර්මාණකරුට මුදල් ත්යාගයක්, සම්මානයක් හෝ වෙනත් කිසිදු ගෙවීමක් හිමි නොවන බව ද අමාත්යාංශය සඳහන් කර ඇත. තරග කොන්දේසි අනුව ඉදිරිපත් කරන නිර්මාණවල ප්රකාශන හිමිකම් ඇතුළු අයිතිවාසිකම් ජපාන විදේශ කටයුතු අමාත්යාංශයට හිමි වේ.
















