ජාතීන් සහ ආගමික ප්රජාවන් අතර නොසන්සුන්තාව ඇති කිරීමට ව්යාජ සමාජ මාධ්ය ගිණුම් භාවිත කරමින් වෛරී ප්රකාශ පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ බුද්ධි අංශ විමර්ශන සිදුකරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා පවසා තිබේ.
ඔක්තෝබර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා සඳහන් කර ඇත්තේ, මෙරට මෙන්ම විදේශයන්හි සිටද ඇතැම් පුද්ගලයන් ව්යාජ ගිණුම් භාවිත කරමින් විවිධ ජනකොටස් අතර වෛරය හා ගැටුම්කාරී තත්ත්වයන් ඇති කිරීමට උත්සාහ කරන බවයි.
එවැනි සිදුවීම් විමර්ශනය කිරීමේදී නිල පැමිණිලි නොලැබීම, අදාළ ගිණුම් විදේශයන්හි සිට මෙහෙයවීම සහ නීතිමය සීමාවන් හේතුවෙන් බාධා මතුවන බවද ඔහු පෙන්වා දී තිබේ.
පසුගිය වසර දහය තුළ වෛරී ප්රකාශ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි හයක් පිළිබඳව CID සහ ත්රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදුකර ඇති බවද අමාත්යවරයා සඳහන් කර ඇත.
වෛරී ප්රකාශ පැතිරවීම සම්බන්ධයෙන් ව්යාජ සමාජ මාධ්ය ගිණුම් භාවිත කරන පුද්ගලයන් හඳුනාගෙන නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.














