පසුගියදා දියගමදී නිමාවට පත් වූ සමස්ත ලංකා පාසල් ක්රීඩා මලල ක්රීඩා ශූරතාවලියේදී පන්නිපිටිය ධර්මපාල විද්යාලයීය බාලිකා කණ්ඩායම දශක හතරකට වැඩි කාලයකට පසු ඓතිහාසික සමස්ත බාලිකා අනුශූරතාව දිනාගැනීමට සමත් විය. අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතින් අදාළ අනුශූරතාව හිමිකරගත් ධර්මපාල විද්යාලය, වර්තමාන දැඩි තරගකාරී පාසල් ක්රීඩා ක්ෂේත්රය තුළ සම්පූර්ණයෙන්ම රජයට අයත් පාසලක් ලෙස බස්නාහිර පළාතේ වෙනත් කිසිදු රජයේ පාසලක් සමත් නොවූ විශිෂ්ට ජයග්රහණයක් සපථ කරමින් ජාතික තලයේ අවධානය දිනා ගැනීමට සමත්ව සිටී.
ප්රධාන පුහුණුකරු දුලිප් දුෂ්මන්ත මහතා ප්රමුඛ පුහුණු මණ්ඩලයේ කැපවීම සහ ක්රීඩිකාවන්ගේ විශිෂ්ට දක්ෂතා මත පදනම් වූ මෙම සාර්ථකත්වය හමුවේ තනි පුද්ගල වාර්තා බිඳ හෙලීම් කිහිපයක් ද වාර්තා විය. එහිදී වයස අවුරුදු 20 න් පහළ බාලිකා මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් තරග කළ දහාමි අභිමානි කොඩිතුවක්කු තත්පර 1:01.57 ක කාලයක් වාර්තා කරමින් අඹගමුව මධ්යම විද්යාලය තබා තිබූ වසර නවයක් පැරණි තරග වාර්තාව මකා දැමීමට සමත් වූවාය. මීට අමතරව උදේෂිකා කේෂානි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ශූරතාව හිමිකරගත් අතර, මීටර් 100 සහ 200 ඉසව්වලින් ඩිලන්මා හන්සිනි සහ මීටර් 100 ශූරතාව දිනූ නිම්ෂි ඒකනායක ඇතුළු කණ්ඩායම පදක්කම් රැසක් පාසල වෙත හිමිකර දුන්හ.
පාසල් මලල ක්රීඩා ක්ෂේත්රය තුළ පෞද්ගලික හා ජාත්යන්තර පාසල් සතුව පවතින දැවැන්ත යටිතල පහසුකම් හමුවේ රජයේ පාසලක් ලබාගත් මෙම ස්ථාවර ප්රගතිය, මෙරට ප්රාථමික හා ද්විතියික ක්රීඩා සංවර්ධන නියාමනයන් කෙරෙහි සුවිශේෂී ආදර්ශයක් සපයයි. දීර්ඝකාලීන සැලසුම් සහ දේශීය පුහුණු ශ්රමය නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් ජාතික මට්ටමේ ශූරතාවන් දිනාගත හැකි බව සපථ කළ ධර්මපාල විද්යාලයීය බාලිකා කණ්ඩායමේ මෙම ජයග්රහණය, ඉදිරි ජාත්යන්තර හා කනිෂ්ඨ ජාතික මලල ක්රීඩා නියෝජනයන් සඳහා ද ප්රබල පදනමක් සකස් කරනු ඇතැයි ක්රීඩා විචාරකයෝ විශ්වාස කරති.














