සුව වීමේ හැකියාව සීමිත සහ අවසන් අදියරේ පසුවන රෝගීන්ගේ වේදනාව අවම කරමින් ඔවුන්ට මානුෂීය රැකවරණය සහ ගෞරවාන්විත සේවාවක් නොමිලේ ලබාදීමේ අරමුණින් යාපනය, චාවකච්චේරි සරසාලෙයි ප්රදේශයේ ඉදිකරන ලද ‘Comfort Care Home’ සහන සත්කාර මධ්යස්ථානය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි. දේශීය හා විදේශීය පරිත්යාගශීලීන්ගේ අනුග්රහයෙන් රුපියල් මිලියන 350කට අධික පිරිවැයකින් ස්ථාපිත කර ඇති මෙම මධ්යස්ථානය, පෞද්ගලික කාමර 20ක්, පැය 24 පුරා ක්රියාත්මක හෙද සත්කාර, ඔක්සිජන් ප්රතිකාර සහ ආධ්යාත්මික උද්යානයකින් සමන්විත වන අතර, පවතින ආර්ථික අභියෝග හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත විශාල ආශ්වාසයක් ගෙනදෙන උතුම් මානුෂීය පියවරක් ලෙස ඇගයීමට ලක්වේ.
විශ්රාමික වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය කේ. දේවකාන්තන් මහතාගේ ප්රධානත්වයෙන් සහ නැසීගිය කනගසබායි මහතාගේ පවුලේ සාමාජිකයන් විසින් පරිත්යාග කරන ලද අක්කරයකට අධික භූමි භාගයක මෙම මධ්යස්ථානය ගොඩනගා ඇති අතර, එහිදී අදහස් දැක්වූ අමාත්යවරයා පෙන්වා දුන්නේ නෙමේ රෝගීන්ගේ මානසික සැනසීම සහ මනුෂ්ය අභිමානය සුරැකීම සෞඛ්ය පද්ධතියේ ප්රමුඛ වගකීමක් බවයි. පිළිකා සහ අවයව අකර්මණ්ය වීම වැනි පූර්ණ සුවය ලබාගත නොහැකි රෝගීන් වෙනුවෙන් මෙලෙස පෞද්ගලික හා ප්රජා දායකත්වයෙන් සහන සත්කාර සපයන ආයතන බිහිවීම හරහා, රාජ්ය රෝහල් මත පැටවෙන දැඩි තදබදය අවම කරගනිමින් හදිසි ප්රතිකාර අවශ්ය රෝගීන් වෙනුවෙන් එම පහසුකම් වඩාත් කාර්යක්ෂමව යොදවා ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත.
උතුරු පළාතට පමණක් සීමා නොවී දිවයින පුරා මෙවැනි සහන සත්කාර සේවා ව්යාප්ත කිරීමේ අවශ්යතාව අවධාරණය කළ සෞඛ්ය අමාත්යවරයා, මෙවැනි සමාජ සත්කාරක ව්යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සෞඛ්ය අමාත්යාංශයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට ද සහතික විය. ධීවර අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන් ඇතුළු වෛද්ය විශේෂඥයන් සහ රාජ්ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය, අනාගතයේදී ශ්රී ලංකාවේ සමස්ත සෞඛ්ය ප්රතිපත්තිය තුළ සහන සත්කාර සේවාවන් (Palliative Care) වඩාත් පද්ධතිගත කිරීමට සහ රාජ්ය-පෞද්ගලික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට මඟපාදන වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.














