රට ගොඩනැගීමේ ප්රධාන සංවර්ධන මුලපිරීමක් වන “ප්රජා ශක්ති” ජාතික ව්යාපාරයේ ඉදිරි ක්රියාමාර්ග සහ මූලෝපායික සැලසුම් පිළිබඳව දිස්ත්රික් ලේකම්වරුන්, ප්රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්ය පරිපාලන ක්ෂේත්රයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ සම්මන්ත්රණයක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ. ප්රාදේශීය මට්ටමේ සංවර්ධන යාන්ත්රණය වඩාත් සක්රීය කිරීම සහ රාජ්ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සංවිධානය වූ මෙම හමුව සඳහා දිස්ත්රික් ක්රමසම්පාදක අධ්යක්ෂවරුන් ඇතුළු උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේ ප්රජා ශක්ති ඇතුළු සියලු ජාතික සංවර්ධන ව්යාපෘති සාර්ථක කරගැනීම උදෙසා රාජ්ය නිලධාරීන් අතර පවතින අභ්යන්තර සන්නිවේදනය සහ මනා සම්බන්ධීකරණය අත්යවශ්ය සාධකයක් වන බවයි. රාජ්ය සේවයේ නිලධාරීන් හුදකලා තීරණවලින් බැහැරව කණ්ඩායම් හැඟීමෙන් සහ කාර්යක්ෂමව කටයුතු කිරීම මඟින් රටේ සංවර්ධන ඉලක්ක වෙත ළඟාවීම වේගවත් වන බව සඳහන් කළ ඒ මහතා, නිලධාරීන් තුළ අභ්යන්තරව ගොඩනඟා ගත යුතු වගවීම සහ රාජ්ය සේවා ගුණධර්මයන්හි වැදගත්කම ද මෙහිදී දැඩි ලෙස අවධාරණය කළේය.
මෙම නව ප්රවේශය සහ රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන්ගේ සක්රීය මැදිහත්වීම හමුවේ ඉදිරියේදී ග්රාමීය හා ප්රාදේශීය මට්ටමේ සංවර්ධන ව්යාපෘති වඩාත් ඵලදායී ලෙස ක්රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රාජ්ය යන්ත්රණයේ පවතින නිලධාරිවාදී බාධා ඉවත් කරමින් ප්රජා ශක්ති ව්යාපාරය හරහා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ ක්රියාවලිය ඉදිරි කාලසීමාව තුළ වඩාත් විනිවිදභාවයකින් සහ කඩිනමින් සිදුකිරීමට පියවර ගැනෙනු ඇත.













