රටේ අනාගත පරපුර උසස් කුසලතා හා ඉහළම වෘත්තීය සුදුසුකම්වලින් සන්නද්ධ කිරීමේ අරමුණින් අධ්යාපන පද්ධතියට අවශ්ය ඉහළම මනුෂ්ය සම්පත් සහ නවීන පහසුකම් එක්කිරීම සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙළක් ක්රියාත්මක වෙමින් පවතින බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්රකාශ කර තිබේ. අධ්යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් රජය විසින් 2027 වසරේදී දැවැන්ත මූල්ය ආයෝජනයක් සිදු කිරීමට මේ වන විටත් සැලසුම් කර ඇති බව ඇය පෙන්වා දුන්නේ පොළොන්නරුව කඩවල වැව මහා විද්යාලය සහ විජිත ප්රාථමික විද්යාලය වෙත නවීන පහසුකම්වලින් යුත් දෙමහල් ගොඩනැගිලි ද්විත්වයක් සිසු අයිතියට පත් කරමිනි.
රජයේ ප්රතිපාදන මත රුපියල් මිලියන 55 බැගින් වූ වියදමින් ඉදිකරන ලද ප්රාථමික පන්ති කාමර අටකින් සමන්විත මෙම නව ගොඩනැගිලි විවෘත කිරීමේ අවස්ථාවලට එක්වෙමින් අග්රාමාත්යවරිය දරු දැරියන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ අතර, ග්රාමීය පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හරහා අධ්යාපන අසමානතාවන් දුරලීමට රජය ප්රමුඛත්වය දී ඇති බව අවධාරණය කළාය. නගරය සහ ගම අතර අධ්යාපන අවස්ථා සම්බන්ධයෙන් පවතින පරතරය අවම කරමින් සියලුම දරුවන්ට එකම මට්ටමේ ගුණාත්මක ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරදීම වත්මන් රජයේ ප්රධානතම ප්රතිපත්තිමය අපේක්ෂාවක් වී තිබේ.
මෙම ආයෝජන සහ ප්රතිසංස්කරණ හරහා ඉදිරි වසර කිහිපය තුළ ශ්රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ පෙරළිකාර වෙනසක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එය රටේ ආර්ථික හා සමාජීය ප්රගමනයට සෘජුවම දායක වනු ඇත. ගුරුවරුන්ගේ හා අධ්යාපන වෘත්තිකයන්ගේ ප්රමිතිය ඉහළ නැංවීමට මෙන්ම පාසල් මට්ටමින් නවීන තාක්ෂණය හා දැනුම බෙදා හැරීමට ගෙන යන මෙම ක්රියාමාර්ග මඟින් මෙරට මානව සම්පත ජාත්යන්තර මට්ටමෙන් තරගකාරී තත්ත්වයකට පත් කිරීමට මඟපෙන්වනුු ඇත.













