භාණ්ඩ ආනයන සහ අපනයනයේදී කොළඹ වරායේ පර්යන්ත ගාස්තු ඇමෙරිකානු ඩොලර්වලින් අයකර ගැනීමේ දැනට පවතින ක්රමවේදය හේතුවෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට අධික දැවැන්ත විදේශ විනිමය ප්රමාණයක් ශ්රී ලංකාවට අහිමි වන බවට ශ්රී ලංකා භාණ්ඩ ප්රවාහන සහ සැපයුම් සංගමය බරපතළ හෙළිදරව්වක් කරයි. කොළඹදී පැවැති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් එම සංගමයේ ප්රධාන ලේකම් ඉනාම් කපූර් මහතා පෙන්වා දුන්නේ, මෙරට නාවික ප්රවාහන සේවාවලට අදාළ සියලු පර්යන්ත ගාස්තු ශ්රී ලංකා රුපියල්වලින් අයකර ගැනීමට කටයුතු කරන්නේ නම්, විදෙස් රටවලට ගලා යන මෙම විශාල ඩොලර් ප්රමාණය රට තුළ රඳවා ගැනීමට හැකි වන බවයි.
මෙම අහිතකර ප්රතිපත්තිය වෙනස් කරන ලෙස මීට පෙර පැවැති රජයන්ගෙන් මෙන්ම අධිකරණය හමුවට ගොස් නියෝග ලබාගෙන තිබුණද එම අධිකරණ තීන්දු පවා ක්රියාත්මක කිරීමට වගකිවයුතු බලධාරීන් අසමත් වී ඇති බවට ක්ෂේත්රයේ නියෝජිතයෝ චෝදනා කරති. වත්මන් වරාය අමාත්යවරයාගේ උපදෙස් පරිදි අදාළ කමිටුව පත්කිරීමට මාස හයකට අධික කාලයක් ගතවී තිබුණද එය තවමත් ඉටුවී නොමැති අතර, හිස් බහාලුම් ගබඩා ගාස්තු (ඩොලර්වලින්) වැඩි කිරීමට කෙරෙන යෝජනා මඟින් ජාත්යන්තර නැව් සමාගම් කොළඹ වරාය මඟහැර යාමේ බරපතළ අවදානමක් මතුව ඇත. විශේෂයෙන්ම කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් සියයට 80ක්ම ප්රතිඅපනයන මෙහෙයුම් වන පසුබිමක, අසල්වැසි රටවල් සිය වරාය පහසුකම් දියුණු කරමින් නැව් ආකර්ෂණය කරගැනීමට උත්සාහ කරන අවස්ථාවක මෙරට බලධාරීන් දක්වන මන්දගාමී පිළිවෙත දැඩි ආර්ථික බලපෑමක් එල්ල කර තිබේ.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ විදේශ විනිමය සංචිත ආරක්ෂා කරගැනීම සහ ජාත්යන්තර වෙළඳ තරගකාරිත්වය පවත්වා ගැනීම රටට අත්යවශ්ය සාධකයක් වන බැවින්, මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ක්ෂණික මැදිහත්වීම සහ තීරණාත්මක ප්රතිපත්තිමය විසඳුම් අපේක්ෂා කෙරේ. බලධාරීන් විසින් පර්යන්ත ගාස්තු රුපියල්වලින් අයකර ගැනීමටත්, නැව් සමාගම් දේශීය වරාය පද්ධතිය තුළ රඳවා ගැනීමටත් කඩිනම් උපායමාර්ගික පියවර නොගන්නේ නම්, ඉදිරියේදී කොළඹ වරායට හිමි කලාපීය නාවික මධ්යස්ථාන තත්ත්වය ගිලිහී යාමේ දැවැන්ත තර්ජනයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආර්ථික හා නාවික ක්ෂේත්ර විචාරකයෝ අනතුරු අඟවති.














